ධනවත් කොවිඩ් රෝගීන්ට සුපිරි හෝටල්වලදී ප්‍රතිකාර ලබාගැනීමේ අවස්ථාව : හමුදාපති
රජයේ රෝහල් වලට පැමිණීමට අකමැති ධනවත්, විශේෂ පංතියේ කොවිඩ් රෝගීන් සඳහා පෞද්ගලික රෝහල් සම්බන්ධ කරගනිමින් සුපිරි හෝටලයක කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානයක් පිහිටුවීමට කටයුතු සූදානම් කරමින් පවතින බව හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
එවැනි ධනවත් පංතියේ පුද්ගලයින්ගෙන් දිගින් දිගටම ලැබුණු ඉල්ලීම් වලට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ අවධානය යොමුවී තිබුණු අතර ඔවුන්ගේ ඉල්ලීම පරිදි එවන් වැඩසටහනක් සකස් කරන ලෙස ඒ මහතා තමන්ට සහ සෞඛ්‍ය අමාත්‍යවරියට උපදෙස් ලබාදුන් බවයි හමුදාපතිවරයා සඳහන් කළේ.
ඒ අනුව දැනටමත් නවලෝක සහ ලංකා හොස්පිට්ල්ස් යන පෞද්ගලික රෝහල් දෙක මීට ඉදිරිපත් වී සිටින බව පැවසූ ඒ මහතා හෝටලයක් ලබාගෙන කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානයක් පිහිටුවීම සඳහා ඉතාම ඉක්මනින් ඔවුන්ට අවසර ලබාදීමට කටයුතු කෙරෙමින් පවතින බවත් ප්‍රකාශ කළේය.
විශේෂයෙන්ම රෝග ලක්ෂණ නොපෙන්වන ධනවත් කොවිඩ් රෝගීන්ට මෙම පෞද්ගලික ප්‍රතිකාර මධ්‍යස්ථානවල ප්‍රතිකාර ලබාගැනීමට හැකිවනු ඇති බවත් ඒ මහතා සඳහන් කළේය.
ශවේන්ද්‍ර සිල්වා මහතා මේ බව පැවසුවේ අද (17) උදෑසන පෞද්ගලික රූපවාහිනී නාලිකාවක වැඩසටහනක් සමඟ දුරකථනය ඔස්සේ සම්බන්ධ වෙමිනි.