බ්‍රිතාන්‍යයෙන් හමුවූ නව කොවිඩ් ප්‍රභේදය තවත් රටවල් 3කින් හමුවේ

ගිනිකොනදිග එංගලන්තයෙන් ආරම්භ වූ නව කොවිඩ්-19 ප්‍රභේදය ඩෙන්මාර්කය, නෙදර්ලන්තය සහ ඔස්ට්‍රේලියාව දක්වා පැතිරී ඇති බව හඳුනාගෙන ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ (WHO) කොවිඩ් -19 තාක්ෂණික නායක මාරියා වැන් කර්කොව් පවසා ඇතැයි CNN වාර්තා කරයි.

“මෙම නව ප්‍රභේදය නෙදර්ලන්තයේ සහ ඩෙන්මාර්කයේද හඳුනාගෙන තිබෙනවා. ඒ වගේම ඔස්ට්‍රේලියාවේ එක් රෝගියෙකු වාර්තා වී ඇති අතර, එය එම රට තුල ඊට වඩා ව්‍යාප්ත වී නොමැති යැයි අප සිතනවා” යැයි ඇය පවසයි.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!

නව ප්‍රභේදය ගිනිකොනදිග එංගලන්තයෙන් ආරම්භ වූවක් හෝ පරිණාමය වූවක්ද යන්න පිළිබඳ විමසූ විට ඇය පැවසුවේ, “ඔව්, ගිනිකොනදිග එංගලන්තය අප සමග බෙදාගත් තොරතුරුවලින් ඒ බව සනාථ වෙනවා.” යනුවෙනි.

“එක්සත් රාජධානිය පසුගිය සැප්තැම්බර් මාසයේදී මෙම නව ප්‍රභේදයේ පැවැත්ම හඳුනාගෙන ඇති අතර, මෙය සැප්තැම්බර් මාසයේ සිට ගිනිකොනදිග එංගලන්තය තුළ සංසරණය වෙමින් පැවතී තිබෙනවා. වෛරසයක පැතිරීම පිළිබඳව හා එහි බොහෝ ප්‍රභේද ඇති බව පිළිබඳව අප සැලකිලිමත් විය යුතුයි.” යැයි ඇය සඳහන් කරයි.

ඇය තවදුරටත් පැවසුවේ, “එක්සත් රාජධානිය අප සමග බෙදාගත් මූලික තොරතුරුවලින් මෙම වෛරසය වඩාත් දරුණු රෝග තත්වයක් ඇති නොකරන බවට අප තේරුම් ගෙන තිබෙනවා. නමුත් මේ ප්‍රභේදය සහිතව රෝහල්ගත රෝගීන් පිළිබඳව නැවත වරක් අධ්‍යයනයන් සිදු කෙරෙමින් පවතිනවා.” යනුවෙනි.

“කොරෝනා වෛරසය පැතිරෙන තාක් කල් එය වෙනස් වීමට, නව ප්‍රභේද ඇති කර ගැනීමට ඇති අවස්ථා වැඩි වෙනවා. ඒ නිසා ඉක්මනින් පැතිරීම වැළැක්වීම සඳහා අපට හැකි සෑම දෙයක්ම කළ යුතුයි.” යැයි WHO කොවිඩ් -19 තාක්ෂණික නායක මාරියා වැන් කර්කොව් අවධාරණය කර සිටියි.