කොත්තමල්ලි කියා යුක්‍රේනයෙන් ගෙන්වූ කෘෂි අපද්‍රව්‍ය කන්ටේනර් 28ක් අල්ලයි

රුපියල් මිලියන 75ට වැඩි වටිනාකමින් යුත් කෘෂිකාර්මික පැළෑටි අපද්‍රව්‍ය බහාලුම් 28ක් රේගුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ. අත්අඩංගුවට ගත් අපද්‍රව්‍ය බහාලුම් වහාම ක්‍රියාත්මක වන පරිදි අපනයනය කිරීමට මධ්‍යම පරිසර අධිකාරිය නිර්දේශ කර ඇත.

මූලික විමර්ශනවලට අනුව මෙම ගනුදෙනුවට වගකිවයුතු ඉන්ඩෙන්ටින් ඒජන්තවරයා විසින් එම ආනයනකරුවන්ට වංචා කර ඇති බවට රේගුවට සැකයක් පවතී.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!

කොටුව ආහාර තොග වෙළෙඳුන් අතරින් අට දෙනෙකු බහාලුම් භාරකරුවන් ලෙස නම් කර තිබිණි. මෙම බහාලුම් සියල්ල ම යුක්‍රේනයෙන් ‘ඇග්රෝනිකා ට්‍රේඩ් පීඑල්සී’ (Agronika Trade PLC) විසින් ශ්‍රී ලංකාවට ආනයනය කර තිබිණි. පළමු බහාලුම් අට දෙසැම්බර් 10 වන දින ශ්‍රී  ලංකාවට පැමිණි අතර අනෙක් බහාලුම් 20 දෙසැම්බර් 21 වන දින පැමිණියේය. කෘෂිකාර්මික භාණ්ඩවල ගුණාත්මකභාවය සහතික කිරීමේ නිසි අධිකාරිය වන ආහාර සුරක්ෂිතතාව සහ පාරිභෝගික ආරක්ෂාව පිළිබඳ යුක්‍රේනයේ රාජ්‍ය සේවයේ ෆයිටොසැනිටරි සහතිකය මෙම තොග සමග විය.

ආරම්භක බහාලුම් හතර මධ්‍යම පරිසර අධිකාරිය විසින් පරීක්ෂා කරන ලද අතර බහාලුම් ඒවා එවූ තැනට ම අපනයනය කිරීමට ඔවුහු නිර්දේශ කළහ.

1999 අංක 35 දරන ශාක ආරක්ෂණ පනත යටතේ පැළෑටි හෝ පැළෑටි ආනයනය කිරීම සීමා කර ඇත. රේගු ආඥා පනතේ විධිවිධාන මෙන් ම ශ්‍රී  ලංකා සාමාජිකයකු වන ජාත්‍යන්තර බාසල් සම්මුතිය යටතේ ඕනෑම ආකාරයක අපද්‍රව්‍ය ආනයනය කිරීම සම්පූර්ණයෙන්ම තහනම්ය.

මේ වනවිට බහාලුම් 24 කොළඹ වරාය පරිශ්‍රය තුළ ඇති අතර ඉතිරි බහාලුම් හතර රේගු පරීක්ෂණ අංගණය තුළ තබා ඇත.

මේ සම්බන්ධ විමර්ශන කටයුතු රේගුවේ පාරිභෝගික ආරක්ෂණ ඒකකය විසින් කරගෙන යනු ලැබේ.