කොළොන්නාව තෙල් ගබඩා පර්යන්ත සේවකයන් 30කට කොරෝනා

කොළොන්නාව තෙල් තොග ගබඩා පර්යන්ත සමාගමේ (සී.පී.එස්.ටී.එල්.) තෙල් සේවකයන් තිස් දෙනෙකුට අධික පිරිසකට කොරෝනාවෛරසය ආසාදනය වී ඇතැයි වෘත්තීය සමිති නායකයෝ පවසති.

තවත් සේවකයන් පිරිසක් පී.සී.ආර්. පරීක්ෂණවලට ලක්කර ඇති අතර තෙල් බෙදාහැරීමේ කටයුතු ද යම්කිසි අයුරකින් අඩාල වී ඇතැයි ද ඔවුහු හෙළිකර සිටිති.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!

කොළොන්නාව තෙල් පර්යන්ත ගොඩනැඟිල්ලේ ඇති ‘ශරීර සුවතා’ මධ්‍යස්ථානය නිරෝධායන මධ්‍යස්ථානයක් බවට පත් කිරීමට යන බවත් එහි සැක සහිත පිරිස රැඳවීම ද ගැටලුවක් වී ඇති බවත් වෘත්තීය සමිති නායකයෝ පවසති.

ඛනිජ සම්පත් ඇමැති උදය ගම්මන්පිල මහතා මේ සම්බන්ධව මාධ්‍ය හමුවේ මීට පෙර කියා සිටියේ තෙල් සේවකයන්ට කොරෝනා ආසාදිත වී නැති බවයි. ඒ සම්බන්ධයෙන් තෙල් තොග ගබඩා පර්යන්ත සමාගමෙහි සභාපති උවයිස් මොහොමඩ් මහතාගෙන් විමසීමට උත්සාහ ගත්ත ද ඒ මහතා සම්බන්ධ කරගැනීමට නොහැකි විය.

මේ සම්බන්ධයෙන් ඛනිජ තෙල් අමාත්‍යාංශයේ ලේකම් කේ.ඩී.ආර්. ඔල්ගා මහත්මියගෙන් කළ විමසීමේදී ඒ මහත්මිය කියා සිටියේ තෙල් පර්යන්ත සමාගමේ සේවකයන් පිරිසකට වෛරසය ආසාදන වීම සම්බන්ධව සොයා බැලීම සඳහා වාර්තාවක් කැඳවා තිබෙන බවයි.

ඒ අනුව, සෞඛ්‍ය බලධාරීන්ගේ උපදෙස් මත ඉදිරි පියවර ගන්නා බව ද ඇය සඳහන් කළාය. තෙල් බෙදා හැරීමේ කටයුතු සාමාන්‍ය පරිදි ප්‍රමාදයකින් තොරව සිදුවන බවත් යම් කිසි ගැටලුකාරි තත්ත්වයක් මතු වුවහොත් මුතුරාජවෙල පිහිටි තෙල් ගබඩාව හරහා ඉන්ධන බෙදා හැරිය හැකි බවත් ලේකම්වරිය සඳහන් කළාය.