මෙවර නත්තල් සමයේ අනතුරුවල කැපී පෙනන අඩුවක්

ගෙවුණු දින දෙක තුළ (24,25) අනතුරු කැපී පෙනෙන ලෙස අඩු වී ඇති බව කොළඹ ජාතික රෝහල පවසයි.

කොළඹ ජාතික රෝහලේ පුහුණු කිරීමේ හෙද නිලධාරිනී පුෂ්පා රම්‍යානි ද සොයිසා මෙනවිය පැවසුවේ, පසුගිය වසරට සාපේක්ෂව මෙවර නත්තල් උත්සව සමයේ අනතුරු සියයට 41කින් අඩු වී ඇති බවය.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!

ඒ අතර, ඊයේ (25) සහ පෙරේදා (24) දින දෙක තුළ මාර්ග අනතුරු පසුගිය වසරට (2019) සාපේක්ෂව සියයට 69කින් අඩු වී ඇති බව පුෂ්පා රම්‍යානි ද සොයිසා මෙනවිය පැවසුවාය.

පසුගිය වසරේ නත්තල් සමයේ මාර්ග අනතුරු 159ක් වාර්තා වී ඇති අතර මෙවර නත්තල් සමයේ මේ දක්වා වාර්තා වී ඇත්තේ මාර්ග අනතුරු 49ක් පමණි.

නිවෙස් තුළ සිදුවූ අනතුරු පසුගිය 2019 වසරට සාපේක්ෂව මෙවර සියයට 12කින් වැඩි වී ඇත. පසුගිය වසරේ නත්තල් සමයේ නිවෙස් තුළ අනතුරු 49ක් වාර්තා වී ඇති අතර මෙවර මේ දක්වා නිවෙස් තුළ අනතුරු 56ක් වාර්තා වී තිබේ.

පසුගිය වසරට (2019) සාපේක්ෂව නත්තල් සමයේ සිදුව ඇති හිංසන ක්‍රියා මේ වසරේ සියයට 19කින් අඩු වී ඇත. මේ වසරේ හිංසන ක්‍රියා 42ක් වාර්තා වී ඇති පුෂ්පා රම්‍යානි ද සොයිසා මෙනවිය සඳහන් කළාය.

උත්සව සමයේ සිදුවන ගිණිකෙළි අනතුරු පසුගිය වසරේ (2019) එකක් වාර්තා වී ඇති අතර මෙවර ද මේ දක්වා වාර්තා වී ඇති ගිණිකෙළි අනතුරු සංඛ්‍යාවක් එකක් වේ.

කොරෝනාවෛරසයේ ව්‍යාප්තියත් සමග සංචරණය සීමා කිරීම හේතුවෙන් මෙවර නත්තල් සමයේ අනතුරු බොහොමයක් අඩු වී ඇති බව කොළඹ ජාතික රෝහලේ පුහුණු කිරීමේ හෙද නිලධාරිනී පුෂ්පා රම්‍යානි ද සොයිසා මෙනවිය පැවසුවා ය.