ඇමති මහින්දානන්දගේ උපදෙස් නොසලකා කෝටි 9ක් කොමිස් ගහන්න ගිය වී අලෙවි දූෂිතයා අල්ලයි

වී අලෙවි මණ්ඩලය සතු වී මෙට්‍රික් ටොන් 30,000ක් සතොසට විකිණීමට කටයුතු කරන ලෙස කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා ලබාදුන් උපදෙස් නොසලකා රුපියල් කෝටි නවයක කොමිස් මුදලක් බලාපොරොත්තුවෙන් පෞද්ගලික මෝල් හිමියකුට එම වී තොගය විකිණීමේ නිරත වී සිටි වී අලෙවි මණ්ඩලයේ ප්‍රාදේශීය කළමනාකරුවකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඊයේ (31දා) කිලිනොච්චියේදී අත්අඩංගුවට ගන්නා ලදී.

වී අලෙවි මණ්ඩලයේ මෙම නිලධාරියා ඇතුළු සංවිධානාත්මක පිරිසක් මෙම ජාවාරමේ නිරත වන බවට සුරේෂ් නමැති ව්‍යාපාරිකයකුගෙන් අලුත්ගමගේ අමාත්‍යවරයාට ලැබුණු රහසිගත තොරතුරකට අනුව ඇමැතිවරයා විසින් දෙසැම්බර් 24 වන දා පොලිස්පතිවරයා වෙත කරන ලද පැමිණිල්ලකට අනුව ක්‍රියාත්මක වූ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව රත්නායක නමැති මෙම ප්‍රාදේශීය කළමනාකරු නීතියේ රැහැනට කොටු කරගෙන තිබේ.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!

වී කිලෝ ලක්ෂ 12ක් (මෙට්‍රික් ටොන් 1,200ක්) මිලට ගැනීමේදී මෙම නිලධාරියා එක් වී කිලෝවකට රුපියල් තුන බැගින් කොමිස් මුදලක් ලබාගත් බවට වී මෝල් හිමියා දුරකතනයෙන් කළ පැමිණිල්ලකට අනුව එම මුදලින් කොටසක් ලබාගන්නා අවස්ථාවේදී ම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් අදාළ සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.

මෙහිදී නාඩු වී කිලෝවක් සඳහා රුපියල් තුනක මුදලක් හා සම්බා වී කිලෝවකින් රුපියල් දහයක මුදලක් මෙම නිලධාරියා කොමිස් වශයෙන් ඉල්ලා සිටි බව ද සුරේෂ් නමැති ව්‍යාපාරිකයා අමාත්‍යවරයා හමුවේ හෙළි කර තිබිණි.

මහ කන්නයේදී වී මෙට්‍රික් ටොන් ලක්ෂ තුනක් මිලට ගෙන ඒවා ගබඩා කිරීම සඳහා පැරැණි වී සංචිතයෙන් මෙට්‍රික් ටොන් 30,000ක් සතොසට අලෙවි කරන ලෙස තමන් කළ නියෝගයට පිටුපා මෙම ජාවාරම්කාර නිලධාරී මාෆියාව ඉතිහාසයේ පටන් කරගෙන ආ දූෂිත ක්‍රියාවලිය මෙම සිද්ධිය ඔස්සේ අතට ම අල්ලා ගන්නට හැකිවූ බව මේ ගැන ‘මව්බිම’ කළ විමසීමකදී මහින්දානන්ද අලුත්ගමගේ ඇමැතිවරයා සඳහන් කළේය.

ඉකුත් රජය සමයේ රුපියල් බිලියන ගණනක් රජයට අහිමි කරමින් සත්ත්ව ආහාරවලට බව පවසමින් මේ ආකාරයට දූෂිත ‘නිලධාරි මාෆියාව‘ වී අලෙවියෙහි නිරතව ඇති බව ද සඳහන් කළ ඇමැතිවරයා එම පුරුද්දම තවදුරටත් පවත්වාගෙන යෑමට කළ උත්සාහය අතටම අල්ලා ගන්නට හැකිවීම ගැන ඉමහත් සේ සතුටට පත්වන බව ද වැඩිදුරටත් පැවැසීය.

මෙම ආයතනවල ඉතා අවංකව රාජකාරී කරන නිලධාරීන් විශාල පිරිසක් සිටින බවද සඳහන් කළ අලුත්ගමගේ ඇමැතිවරයා මෙවැනි ඇතැම් දූෂිත නිලධාරීන් කරන ගනුදෙනු නිසා විශාල පිරිසකට දැඩි අසාධාරණයක් සිදුවන බව ද පැවැසීය.

එබැවින් තම අමාත්‍යාංශයේ පොහොර බෙදා හැරීමේදී වී, සහල් හා එළවළු වෙළෙඳාමේදී කවුරුන් හෝ කොමිස් මුදල් ඉල්ලන්නේ නම් වංචා සිදුවන්නේ නම් කෘෂිකර්ම අමාත්‍යාංශය අමතා ඒ ගැන දැනුම්දෙන ලෙස ද මෙහිදී ඇමැතිවරයා ජනතාවගෙන් ඉල්ලීමක් ද කළේය.