බ්‍රිගේඩියර්වරු පස්දෙනෙකුට සහ සෙසු නිලයින් 560කට උසස්වීම්

යුද්ධ හමුදාවේ ජ්‍යෙෂ්ඨ බ්‍රිගේඩියර්වරු පස්දෙනෙකු මේජර් ජෙනරල් නිලයට සහ සෙසු නිලයින් 560 දෙනෙකුට උසස් වීම් ලබා දී තිබේ.

ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද්ධ හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතාගේ නිර්දේශය මත ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් මෙම උසස් කිරීම් සිදු කර ඇත.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!

ඒ අනුව, අද දිනයේ එම නිලධාරීන්ට නිල ලාංඡන පැළඳවීම යුද්ධ හමුදාපතිවරයා විසින් යුද්ධ හමුදා මූලස්ථානයේදී සිදු කළ බව යුද්ධ හමුදා මාධ්‍ය අංශය නිවේදනය කළේ ය.

සෙසු නිලයින් 560 දෙනෙකු ඊළඟ නිලයට උසස් කිරීම විශේෂ බලකායේ 24 වන සංවත්සරයට සමගාමීව සිදු කර ඇති අතර වාර්තාගත නිලධාරීන් ගණනක් උසස් කිරීම විශේෂ බලකා ඉතිහාසයේ ප්‍රථම වතාවට සිදු කර ඇති බව ද යුද්ධ හමුදා මාධ්‍ය අංශය පවසයි.

ඒ අනුව, බලලත් නිලධාරී I නිලයට දෙදෙනෙකු, බලලත් නිලධාරී II නිලයට 18 දෙනෙකු, මාණ්ඩලික සැරයන් නිලයට 61 දෙනෙකු, සැරයන් නිලයට 84 දෙනෙකු, කෝප්‍රල් නිලයට 325 දෙනෙකු සහ ලාන්ස් කෝප්‍රල් නිලයට 70 දෙනෙකු උසස් කර තිබේ.