මඩකලපුවේ තවත් කොටි පෙරහුරුවක්ද?

එල්.ටී.ටී.ඊ. ජයන්තන් බළකායේ හිටපු නායකයකුට අයත් පුපුරණ ද්‍රව්‍ය තොගයක් මඩකලපුව කරදියනාරු ප්‍රදේශයේ නිවෙසක සඟවා තිබියදී මඩකලපුව කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් සොයාගනු ලැබූ බව සඳහන් පුවතක් අප පුවත්පත ඉකුත්දා වාර්තා කළේය.
මඩකලපුව කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් අත්අඩංගුවට ගත් පුපුරණ ද්‍රව්‍ය අතර ඇමෝනියම් නයිට්‍රේට් කිලෝ 595ක් වෝටර් ජෙල් කරල් 729ක් සේවා නූල් මීටර් 1780 ක් කළු කුඩු ග්‍රෑම් 500ක් බට්ටෝ රතිඤ්ඤා 31ක් හා ඇළුමිනියම් බට 105ක් ද වන බව අප ප්‍රවෘත්තියෙහි සඳහන්ය. එමෙන්ම එල්.ටී.ටී.ඊ. හිටපු නායකයා ඇතුළු දෙදෙනකුද අත්අඩංගුවට ගත් බව අප ප්‍රවෘත්තියෙහි වැඩිදුරටත් සඳහන්ය.
තිස් වසරකට වැඩි කාලයක් මෙරට පැවැති යුද්ධය 2009 වසරේදී නිමාවට පත් විය. එසේ යුද්ධය නිමාවට පත් වූයේ යුද්ධයට සම්බන්ධ එක් පාර්ශ්වයක් වන එල්ටීටීඊ සංවිධානය ප්‍රචණ්ඩත්වය අතහැර ප්‍රජාතන්ත්‍රවාදී, සාමකාමී මාවතට පිවිසි නිසා නොව යුද බිමේදී ලද නින්දා සහගත පරාජය නිසාය. එහෙත් ත්‍රස්තවාදීහු විශාල පිරිසක් මියගියහ. ඇතැමෙක් ආරක්ෂක අංශවලට බාර වූහ. ඔවුහු පුනරුත්ථාපනයට භාජන වූහ. ඔවුන්ගෙන් විශාල පිරිසක් එසේ ආරක්ෂක අංශවලට බාර වූයේද දිවි බේරා ගැනීමට වෙනත් මගක් නොවූ නිසා මිස තමන් ගිය ගමන වැරැදි යැයි අවබෝධ කරගත් නිසා නොවන බවද සිහි කටයුතුය.
එල්.ටී.ටී.ඊ. සංවිධානයේ සිටි ඇතැම් සාමාජිකයන් ආරක්ෂක අංශවලට හසු නොවී සැඟවී සිටිය හැකි බව ද විය හැකි දෙයකි. ඇතැම්හු විදේශයන්ට පලා ගියහ. මඩකලපුවේදී අත්අඩංගුවට පත් හිටපු කොටි නායකයා ද එසේ විදේශගතව මෙරටට පැමිණ ඇත්තේ මෑතකදී බව ද අප ප්‍රවෘත්තියෙහි සඳහන්ය.
ඉතිරිව සිටින, සැඟවී සිටින, හමුදාවට බාර වූ ඇතැම් පිරිස් ආදීන් තමන්ට යම් අවස්ථාවක් ලැබෙනතුරු කල් මරමින් සිටින බව සත්‍යයකි. මෙම තත්ත්වය අමතක නොකළ යුතුය. මුළු රටේම අවධානය කොරෝනා මාරක වසංගතය දිසාවට යොමු වී ඇති හෙයින් තමන්ට රිසිසේ ඉලක්ක කරා ළඟාවිය හැකි යැයි ත්‍රස්තවාදියකුට සිතිය හැකිය. මඩකලපුව කොට්ඨාස අපරාධ විමර්ශන අංශයට ප්‍රණාමය හිමිවිය යුත්තේ අවදියෙන් සිට මහා විනාශයක් වැළැක්වීමට නිර්භයව ක්‍රියා කළ හෙයිනි.
යුද්ධය ඇතැමකුට සරු අස්වැන්නක් විය. යුද්ධය පෙන්වා බොහෝ දෙනෙක් බටහිර රටවල දේශපාලන රැකවරණ ලබා ගත්හ. එමගින් ඔවුහු ඉසුරුබර ජීවිතයකට මග පාදා ගත්හ. වර්තමානය වනවිට රට තුළ යුදමය තත්ත්වයක් නොමැති හෙයින් ශ්‍රී ලංකාවට පැමිණීමට සිදුවනු ඇතැයි විදේශගතව සිටින ඇතැම්හු සිතති. එහෙයින් ඔවුන්ට උවමනා කරන්නේ රට තුළ යළිත් යුදමය වාතාවරණයක් ඇති බව ලෝකයට පෙන්වීමටය. එහෙයින් ඒ සඳහා කළ යුතු ඕනෑම දෙයක් ඔවුහු කරති. තොග ගණනින් සල්ලි මලු විසි කරති. මුදල් පිපාසයෙන් පෙළෙන්නන් හඳුනාගෙන ඔවුන් ලවා යුදමය පරිසරයක් නිර්මාණය කිරීමට පෙළඹෙති. විවිධ අවස්ථාවලදී රට හමුවේ ප්‍රදර්ශනය වන්නේ එවැනි උත්සාහයන්ය.
එල්.ටී.ටී.ඊ. සංවිධානය විනාශ වූයේ යුදමය තලයේ පමණි. එමගින් බෙදුම්වාදී මතවාදය මුළුමනින්ම පරාජය වූයේ නැත. එම මතවාදය වෙනුවෙන් මරාගෙන මැරීමට උවත් සූදානම් පිරිස් සිටිය හැකිය. ඔවුන්ට උවමනා කරන්නේ ඒ සඳහා ‘අවස්ථා’ පමණෙකි. එම අවස්ථා ලබා නොදීම ආරක්ෂක අංශ සතු වගකීමකි.
දෙමළ තරුණයා විනාශකාරී මාවතට යොමු කරවන ජාතිවාදී අදහස් මතු කරන දේශපාලනඥයෝ සිටිති. ඔවුන්ට ද ජනතාව අතර රැඳී සිටීමට නම් එම ජනතාවගේ සංවේදී හැසිරීම්වලට ආමන්ත්‍රණය කළ යුතුය. දරු සොවින් සාංකාවෙන් වැළපෙන මව්පියවරුන්ගේ කඳුළුවලට ආමන්ත්‍රණය කළ යුතුය. මෙම විසකුරු දේශපාලනඥයන් අමතක නොකළ යුතු සත්‍යයක් තිබේ. එනම් වේළුපිල්ලේ ප්‍රභාකරන් වෙල්ලමුල්ලි වයික්කාල්හි නන්දිකඩාල් කළපුව අද්දර වගුරු බිමක අවසන් ගමන් ගියේ උතුරේ දෙමළ ජනයාට ඇඳිවත පමණක් ඉතිරිකර තබා බවය. යළිත් එම විනාශය කරා රට යොමු නොකිරීමේ වගකීම සෑම වර්ණයකටම අයත් දේශපාලනඥයන් සතුය.