රු.කෝටි විසිහතරක මත්කුඩු කොස්ගොඩින් අල්ලයි
කොස්ගොඩ ටකරං වාඩිය ප්‍රදේශයේ ලදු කැලෑවක සගවා තිබූ රුපියල් කෝටි විසිහතරක් පමණ වටිනා හෙරොයින් කිලෝග්‍රෑම් විසිතුනයි ග්‍රෑම් එකසීය පනස්පහක් සොයා ගත් බව පොලිස් විශේෂ කාර්ය බලකායේ කොළඹ මූලස්ථාන වැටලීම් ඒකකය කියයි.
ලැබුණු තොරතුරකට අනුව ඊයේ (12) රෑ සිදු කළ වැටලීමකදී මේ මත්කුඩු තොගය සොයාගත් බවත් පාතාල කණ්ඩායම් නායක කොස්ගොඩ තාරකට අයත් මත්කුඩු තොගයක් බව පොලිස් විශේෂ කාර්ය බලකාය කියයි.
පාර්සල් විස්සක අසුරා තිබූ මේ මත්කුඩු තොගය ලංකාව පුරාම බෙදා හැරීමට සූදානම් කොට තිබූ බවද පොලිස් විශේෂ කාර්ය බලකාය කියයි.
මේසා විශාල වටිනාකමක් ඇති මත්කුඩු තොගයක් දකුණු පළාතෙන් සොයාගත් පළමු අවස්ථාව මෙය බව පොලිස් ආරංචි මාර්ග කියයි.
මේ මත්කුඩු තොගය සමග සැකකරුවකු අත්අඩංගුවට ගෙන නැති අතර එය වැඩිදුර පරීක්ෂණය සදහා කොළඹ මත්ද්‍රව්‍ය නාෂක කාර්යාංශයට භාරදි ඇත.
පොලිස් විශේෂ කාර්ය බලකායේ අණදෙන නිලධාරී නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර, කලාප අණදෙන නිලධාරී ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ඒ.ආර්.එම්. රෝයි සුමනවර්ණ යන මහත්වරුන්ගේ උපදෙස් පරිදි මූලස්ථාන සහකාර පොලිස් අධිකාරී කේ.ඒ.ඒ.කේ. කටුගම්පොල.මහතාගේ අධීක්ෂණය යටතේ විශේෂ වැටලීම් ඒකකයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂකසාගර මහතා ඇතළු කණ්ඩායමක් මේ පිලිබදව වැඩිදුර පරීක්ෂණ පවත්වති.