පාක් ඇන්ඩ් රයිඩ් සුඛෝපභෝගී බස් සේවාව ජනපතිගේ ප්‍රධානත්වයෙන්

කොළඹ නගරයට දෛනිකව ඇතුළු වන වාහන ප්‍රමාණය අවම කිරීමේ අරමුණින් ‘පාක් ඇන්ඩ් රයිඩ්’ බස් සේවාව අද ආරම්භ කෙරිණි. මෙම බස් සේවාව නියමු ව්‍යාපෘතියක් ලෙස අද ආරම්භ වූයේ කොට්ටාව – මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානය කේන්ද්‍ර කරගෙනයි.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා‍ගේ ප්‍රධානත්වයෙන් මෙම නියමු ව්‍යාපෘතිය අද පෙරවරුවේ ආරම්භ කෙරිණි.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!

පෙරවරු 06 සිට 08 දක්වා සහ පස්වරු 04 සිට 09 දක්වා සෑම විනාඩි 15 කටම වරක් බස් රථයක් ගමන් ආරම්භ කරන අතර එ් අතරතුර කාලයේදී සෑම විනාඩි 25 කටම වරක් බස් රථයක් ගමන් ආරම්භ කරයි. ඒ අනුව දෛනිකව ගමන් වාර 64 ක් ක්‍රියාත්මක වේ.

මේ සඳහා සාමාන්‍ය බස් ගාස්තුව මෙන් දෙගුණයක් අය කරයි.

මෝටර් රථ සහ යතුරුපැදිවලින් ගමන් ගන්නා මගීන්ට සිය වාහන මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානය ආශ්‍රිත වාහන අංගනයේ නවතා එතැන් සිට මෙම බස් සේවාව භාවිතා කරමින් සුවපහසු ලෙස හා ආරක්ෂිතව සිය සේවා ආයතනය දක්වා ගමන් කළ හැකිය. මෙම බස් රථවල ආසන ගණනට පමණක් මගීන් ප්‍රවාහනය කෙ‍රේ.

දැනට කොට්ටාව – කොටුව දක්වා පමණක් මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක වන අතර ඉදි‍රියේදී සෙසු මාර්ග සඳහාද මෙය හඳුන්වාදීමට නියමිතය.

මෙම බස් සේවාව සම්බන්ධ තොරතුරු සහ ධාවන කාල සටහන ඇතුළත් ඇප් එකක් ද හඳුන්වා දී තිබෙනවා.