ජනමාධ්‍යවේදීන්ගේ නිපුණතා වර්ධනයට අභ්‍යාස ආයතනයක් රජය සැලසුම් කරයි

 

ජනමාධ්‍යවේදීන්ගේ වෘත්තීය නිපුණතා වර්ධනය කිරීම සඳහා අභ්‍යාස ආයතනයක් ස්ථාපිත කිරීමට රජය සැලසුම් කරයි. විද්යුත්, මුද්‍රිත සහ සමාජ මාධ්‍ය වෙතින් පුද්ගලයන්ට, ආයතනවලට සහ ව්‍යාපාරවලට එල්ල කෙරෙන අනිසි බලපෑම සහ අගතීන් සම්බන්ධයෙන් ලැබෙන පැමිණිලි සංඛ්‍යාව ඉතා ඉහළ මට්ටමක පවතින බව අනාවරණය වී තිබෙන නමුත් එම සියලු කරුණු සැලකිල්ලට ගෙන පුවත්පත් මණ්ඩල පනත සංශෝධනය කිරීම කෙරෙහි ද රජයේ අවධානය යොමුව තිබේ.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!

අන්තර් ජාතික තැපැල් සේවා දෙස අවධානය යොමු කර, සැපයිය හැකි පුළුල් සේවා අවස්ථා හඳුනාගතහොත් ශ්‍රී ලංකා තැපෑලට ජාතික ආර්ථිකයේ ප්‍රධාන කොටස්කරුවකු වියහැකි බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පෙන්වා දෙයි.

ශ්‍රී ලංකා තැපෑල සතු විශාල සම්පත් සම්භාරය නිසිලෙස කළමනාකරණයෙන් ඉලක්කය වෙත පහසුවෙන් ළගාවිය හැකි ඉබවද ඒ මහතා කියා සිටී.

තැපැල් සේවා හා ජනමාධ්‍යවේදී වෘත්තීය සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශයේ ඉදිරි සැලසුම් පිළිබඳව ජනාධිපති කාර්යාලයේ ඊයේ (29) පැවති සාකච්ඡාවේ දී ජනාධිපතිවරයා මේ බව පැවැසීය.

වාර්ෂිකව තැපැල් දෙපාර්තමේන්තුව රුපියල් බිලියන 08කට අධික ආදායමක් උපයන අතර වියදම රුපියල් බිලියන 14ක් පමණ වෙයි. වැටුප් සහ අතිකාල දීමනා ඇතුළු සෙසු පිරිවැය නිසා රුපියල් බිලියන 06ක පාඩුවක් වාර්ෂිකව සිදුවන බව අනාවරණය විය. නව සේවා හඳුන්වාදෙමින් ඉහළ තාක්ෂණික ක්‍රම උපයෝගි කර ගැනීමෙන් තැපෑල ලාබ ලබන තත්ත්වයට පත්කිරීමට ඇති ඉඩ කඩ සම්බන්ධව දීර්ඝ වශයෙන් මෙහිදී සාකච්ඡා කෙරිණ. ශ්‍රී ලංකාවේ දිස්ත්‍රික්ක රැසක පිහිටි පැරණි තැපැල් කාර්යාල ගොඩනැගිලි සංචාරක අමාත්‍යාංශයේ ද සහය ඇතිව සංචාරක ආකර්ශණය දිනාගත හැකි ස්ථාන බවට පත් කිරීමට පුළුවන් අතර කොළඹ කොටුවේ පිහිටි පැරණි මධ්‍යම තැපැල් ගොඩනැගිල්ල පෞරාණික බව රැක ගනිමින් නවීකරණයට තීරණය කෙරිණ. කොවිඩ් වසංගතය නිසා රට වසා දමා තිබූ සමයේ රෝහල් සහ ඔසුසල් වෙතින් ඖෂධ වර්ග නිවෙස් වෙතම බෙදා හැරීමට තැපැල් දෙපාර්තමේන්තුව කළ සේවය ආර්ථික පුනර්ජීවනය පිළිබඳ ජනාධිපති කාර්ය සාධක බළකායේ ප්‍රධානී බැසිල් රාජපක්ෂ මහතාගේ ඇගයීමට ලක්විය. Speed Post සේවය තවදුරටත් වේගවත් කිරීමෙන් සේවාලාභීන් විශාල පිරිසකගේ අවධානය දිනාගත හැකි බව බැසිල් රාජපක්ෂ මහතා පැවසීය. මැණික් අපනයනයේ දී භාණ්ඩ බෙදාහරින පෞද්ගලික ආයතනවල සේවය වැඩි මිලකට ලබා ගැනීමට ව්‍යාපාරිකයෝ පෙළඹී සිටින අතර ශ්‍රී ලංකා තැපෑල සතුව ගෙන් ගෙට ගොස් බෙදා හැරිමේ ක්‍රමයක් (Door to Door Delivery System) වූයේ නම් ඉහළ ආදායමක් උපයා ගැනීමට ඇති හැකියාව බැසිල් රාජපක්ෂ මහතා පෙන්වා දුන්නේය.

ජනමාධ්‍යවේදීන්ගේ වෘත්තීය නිපුණතා වර්ධනයට අභ්‍යායාස ආයතනයක් පිහිටුවීමට සැලසුම් කර තිබෙන අතර විද්‍යුත්, මුද්‍රිත සහ සමාජ මාධ්‍ය වෙතින් පුද්ගලයන්ට, ආයතනවලට සහ ව්‍යාපාරවලට එල්ල කෙරෙන අනිසි බලපෑම සහ අගතීන් පිළිබඳව ලැබෙන පැමිණිලි සංඛ්‍යාව ඉතා ඉහළ මට්ටමක පවතින බව අනාවරණය විය. සියලු කරුණු සැලකිල්ලට ගෙන පුවත්පත් මණ්ඩල පනත සංශෝධනය කිරීමේ දැඩි අවශ්‍යතාව ද සාකච්ඡා කෙරිණ.

හඬ කවන ලද විදේශ ටෙලි නාට්‍ය විකාශනයේ දී අය කෙරෙන බදු නාළිකාවල ඉල්ලීම මත කොවිඩ් කාලසීමාවේ දී ඉවත් කෙරුණු අතර එය නැවත සක්‍රිය කිරීමට ද තීරණය විය. රූපවාහිනී නාළිකා ප්‍රේක්ෂක ප්‍රතිචාර මත ශ්‍රේණිගත කිරීම කැලණිය විශ්වවිද්‍යාලයේ සහභාගීත්වයෙන් සමස්ත දිවයිනම ආවරණය වන පරිදි අපක්ෂපාතීව සිදුකිරීමට සැලසුම් කර තිබේ. ඊට අවශ්‍ය ප්‍රතිපාදන වෙන්කර කඩිනමින් එය ක්‍රියාවට නැංවීමේ අවශ්‍යතාව පිළිබඳව ද එකඟතාව පළවිය.

ජනමාධ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල, රාජ්‍ය ඇමැති එස්. විලයේන්ද්‍රන්, ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර මහත්වරු, කැබිනට් සහ රාජ්‍ය අමාත්‍යාංශ ලේකම්වරු සහ රේඛීය ආයතනවල ප්‍රධානීහූ ඇතුළු පිරිසක් මෙම සාකච්ඡාවට එක්ව සිටියහ.

දිනමිණ – මහින්ද අලුත්ගෙදර