චම්පික ඇතුළු විත්තිකරුවන්ට රටින් පිටවීම තහනම් කරයි

තරුණයකු රිය අනකුරකට ලක්කර බරපතල තුවාල සිදු කිරීම සම්බන්ධයෙන් වන නඩුවේදී ප්‍රයෝජනයට ගැනීමේ අරමුණින් බොරු සාක්කි ගෙතීම ඇතුළු අධි චෝදනා ලැබ සිටින හිටපු අැමැති පාඨලී චම්පික රණවක ඇතුළු විත්තිකරුවන් තිදෙනාට විදෙස් ගතවීම තහනම් කරමින් ඊයේ(29) නියෝගයක් නිකුත් කළ කොළඹ මහාධිකරණය විනිසුරු දමිත් තොටවත්ත මහතා කිසිදු විටෙක නව විදෙස් ගමන් බලපත්‍රයක් විත්තිකරුවනට නිකුත් නොකරන ලෙසට ද ආගමන හා විගාමන පාලකවරයාට නියෝග කෙළේය.

නඩුව ඊයේ(29) කැදවූ අවස්ථාවේ අධිකරණය හමුවේ පෙනී නොසිටි මෙම රිය අනතුර සිදුවන අවස්ථාවේ දී පාඨලී චම්පික රණවක මහතාගේ රියැදුරු ලෙස සේවය කළ නඩුවේ දෙවැනි විත්තිකාර දිලුම් තුසිත කුමාර අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමටද විනිසුරුවරයා වරෙන්තු නිකුත කෙළේය.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!

විත්තිකරුවන් පැමිණිල්ලට හෝ විමර්ශන නිලධාරීන්ට නොදන්වා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ මෝසමක් ගොනුකරමින් එම අධිකරණය මඟින් පනවා ඇති විදෙස් ගමන් තහනම ඉවත් කරන ලෙසට ඉල්ලීමක් කර ඇති බව පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටින නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් දිලීප පීරිස් මහතා අධිකරණය හමුවේ ඊයේ (29) කරුණු අනාවරණය කිරීමෙන් අනතුරව මහාධිකරණ විනිසුරුවරයා විත්තිකරුවන් හට විදෙස් ගමන් තහනම් කරමින් එසේ නියෝගයක් නිකුත් කරන ලදී.

එම නියෝගය වහා ආගමන හා විගාමන පාලකවරයාට දන්වන ලෙසද විනිසුරුවරයා කොළඹ මහාධිකරණ රෙජිස්ට්‍රාර්වරයාට නියෝග කළේය.

තවද විත්තිකරුවන් හට සෑම මසකම අවසන් සිකුරාදා කොළඹ අපරාධ කොට්ඨාස වෙත වාර්තා කිරීමේ අතිරේක ඇප කොන්දේසියක්ද ඊයේ (29) පැනවිණි.

විත්තිකරුවන් වෙනුවෙන් විදෙස් ගතවීම සඳහා ඉල්ලීමක් සිදු නොකළ බවත් මෝසමක් මඟින් මහේස්ත්‍රාත් අධිකරණයෙන් ඇප කොන්දේසි සම්බන්ධයෙන් සාකච්ඡා කළ බවත් විත්කිකාර පාඨලී චම්පික රණවක මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ අනූජ ප්‍රේමරත්න මහතා ඊයේ (29) අධිකරණය ට දැන්වීය.

නඩුවේ දෙවැනි විත්තිකරු අධිකරණය හමුවේ පෙනීසිටින බවට තමා වෙත දුරකතනයෙන් දැන්වූ බවත් පෙර මෙම නඩුව පූර්වගාමී විනිසුරුවරයා හමුවේ වෙනක් අධිකරණයක කැඳවීම හේතුවෙන් එම විත්තිකරු මෙම අධිකරණය හමුවේ නොමැති බව ඔහු වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරයා අධිකරණයට දැන්වීමෙන් අනතුරුව නඩුව විනාඩි කිහිපයකින් නැවත කැඳවීමට නියම කළ විනිසුරුවරයා එම විත්තිකරු සම්බන්ධයෙන් සොයා බැලීමට විත්තියේ නීතිපතිවරයා ට දැන්වීය.

ඒ අනුව නැවත නඩුව කැදවූ අවස්ථාවේ වික්තිකරු නොමැති බවට දැනුම් දීමෙන් පසු එම විත්තිකරු අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට විනිසුරුවරයා ඊයේ (29) නියෝග කෙළේය.

නඩුවේ පැමිණිල්ල විසින් ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන රිය අනතුරෙන් බරපතල තුවාල ලත් සන්දීප් ගුණවර්ධන නමැති තරුණයා විසින් හිරු හා දෙරණ මාධ්‍ය ජාලයන් වෙත ලබාදුන් ප්‍රකාශ ඇතුළක් සී .ඩී. පට හා පළමු විත්තිකාර පාඨලී චම්පික රණවක මහතා හා ඔහුගේ රියැදුරු අතර සිද්ධිය වූ දින ඇතිවූ දුරකතන සංවාද ඇතුළත් වාර්තාවක් විත්තිය වෙත ලබාදෙන බව නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් දිලීප පීරිස් මහතා අධිකරණය ට දැන්වීය.

දෙවන විත්තිකරු අධිකරණය හමුවට කැදවීම සම්බන්ධයෙන් නඩුය යළි ලබන ඔක්තෝබර් 12 වැනිදා යළි කැදවීමට විනිසුරුවරයා නියෝග කෙළේය.

2016/02/28 දින රාත්‍රියේ රාජගිරිය ප්‍රදේශයේදී සිදුකළ මෙම රිය අනතුර සම්බන්ධයෙන් බොරු සාක්කි ගෙතීම ඇතුළු අධි චෝදනා 16 ක් මත හිටපු අැමැති පාඨලී චම්පික රණවක ,ඔහුගේ රියැදුරු දිලුම් කුසිත කුමාර හා එවකට වැලිකඩ පොලිසියේ හිටපු ස්ථානාධිපති සුදත් අස්මඩල යන විත්තිකරුවන් ට එරෙහිව නීතිපතිවරයා මෙම නඩුව පවරා ඇත.

නඩුව ඊට කැදවූ අවස්ථාවේ පළමුහා තෙවැනි විත්තිකරුවන් අධිකරණය හමුවේ පෙනී සිටියහ. 190,198,200,215 යන වගන්ති යටතේ නීතිපතිවරයා විත්තිකරුවන් ට එරෙහිව මෙම නඩුවෙන් අධි චෝදනා නගා ඇත .