ලංකාවට ණය ගෙවීමට හෝ ණය ලබාගැනීමට හැකියාවක් නෑ

මේ වසරේදී ඩොලර් මිලියන 7,000 ක විදේශ ණය ගෙවීමට හැකියාවක් ඇති බවත් ණය ගෙවීමට හෝ ණය ලබාගැනීමට ලංකාවට දැන් හැකියාවක් නොමැති බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසයි.

රටේ කිසිදාක නොවුණ පරිදි මුදල් අමාත්‍යාංශයෙන් රාජ්‍ය අරමුදල්වලට හානි කරන බවත් වැඩකරන මිනිසුන්ගේ පොලිය කපා, එම මුදල් ව්‍යාපාරිකයින්ට ලබාදීමට කටයුතු කරමින් සිටින බවත් ඔහු පැවැසීය.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!

ඊයේ (27) දිනයේ අනුරාධපුර පුණ්‍ය භූමියේ ආගමික සිද්ධස්ථාන කිහිපයක් වැඳපුදා ගත් හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා සන්ද්‍යාවේ අනුරාධපුර දිස්ත්‍රික් ’43 සේනාංකයේ’ ක්‍රියාකාරිකයන් විසින් සංවිධාන කර තිබූ විශේෂ හමුවකට එක්විය. එහිදී රටේ පවතින ආර්ථික අර්බුදය පිළිබඳ අදහස් දක්වමින් පාඨලී චම්පික රණවක මහතා මේ බව පැවැසීය.

“ඔබ සියලු දෙනා දකින්න ඇති මහ බැංකුව නිවේදනයක් දුන්න සියලුම පුද්ගලික බැංකුවලට ඉදිරි කාලයේදී ඩොලර්වලින් කරන ගණුදෙනු, එකඟතාවයන් මාස තුනකට නතර කරන්න කියල. ඒ ඇයි ?

පසුගිය ජනවාරි 19 වන දින ආණ්ඩුවට තිබුණා විදේශ මුදල්වලින් ගත්ත ඩොලර් මිලියන 200 ක ණයක් පියවන්න. ඒ අනුව මහ බැංකුව ලංකාවේ බැංකු වලට කිව්ව මේ ඩොලර් මිලියන 200 අපට ලබාදෙන්න කියල 01% පොලියට. නමුත් කිසි බැංකුවක් ඉදිරිපත් වුණේ නෑ 1% පොලියට එය ලබාදෙන්න. ඇයි ඒ අය ඉල්ලුවේ 1% පොලියට දෙන්න කියල ? මොකද මහ බැංකුවත් අරන් තියෙන්නෙත් 1% පොලියට. 7% පොලියට ගන්නම් කිව්ව. කොච්චරක්ද ? ඩොලර් මිලියන 200 න් ඩොලර් මිලියන 44 ක්. ඒක තමයි කතාව.

ඒ කියන්නේ මේක වෙළෙඳපොළට දැම්මහම 22% ක් විතරයි වෙළෙඳපොලෙන් ප්‍රතිචාර ආවේ. ඒ නිසා ආණ්ඩුවට සිද්ධ වුණා භාණ්ඩ ගෙන්වන්න තියෙන සල්ලිවලින් ඉතුරු ටික පියවල ඒ ණය ගෙවා දාන්න. නැත්නම් ජනවාරි 19 වෙනිදාම ලංකාව බංකොලොත් වෙනවා.

දැන් බඩු ගේන්න සල්ලි නෑ. දැන් රුපියල සීග්‍රයෙන් අවප්‍රමාණ වෙමින් 200 පන්නනකොට තව ඩොලර් මිලියන 100 ක් බඩු ගේන්න තියෙන ඒවගෙන් දැම්ම රුපියල පවත්වාගෙන යාම සඳහා. රුපියල 200 ගාණට තියන් ඉන්නෙ මේ පළවෙනි දවස් 15 ඩොලර් මිලියන 100 ක් මහබැංකුව වෙළෙඳපළලට දාපු නිසා. ඒ සල්ලි කොහෙන්ද ? ඒ සල්ලි ඔය ආණ්ඩුව බනින යහපාලන ආණ්ඩුව 2019 ඉතුරු කරපු සල්ලි. ඒවයෙන් තමයි දැන් ඔය ඩොලරය ආරක්ෂා කරගෙන ඉන්නෙ.

මේ ආකාරයට ගිහිල්ල පුළුවන් ද රට කරන්න ? මේ වසරේ අපට තියෙන්නෙ ඩොලර් මිලියන 200 ක් ගෙවන්න නෙමෙයි, ආසන්න වශයෙන් ඩොලර් මිලියන 7000 ක විදේශ ණය අපට මේ වසරේ ගෙවන්න තියෙනවා. මේක ගෙවා ගැනීමට අද අපට ඉතාමත්ම අපහසු, නොහැකි තත්ත්වයක් තියෙනවා. මං දන්නෙ නෑ ආණ්ඩුවේ ඉන්න කී දෙනෙකුට මේව තේරෙනවද කියල.

වැව් ගොඩකරනව, ගස් කපනව, කැලෑ එළි කරනවා, වැලි කළුගල් පර්මිට් ඉවත්කරල ඒව කපනව, පිස්සුවෙන් වගේ ධනය පස්සෙ යනවා. ඒ අතරේ රටේ කවදාවත් නොකළ ආකාරයට මුදල් අමාත්‍යාංශය මැදිහත්වෙලා රාජ්‍ය අරමුදල්වලට හානි කරනවා, සීනි ගැසට්ටුව වෙනස් කළා වගේ. ඒ හරහා ව්‍යාපාරිකයන් දෙතුන් දෙනෙකුට ප්‍රකෝටි ගණන් හම්බකරගන්න දුන්න වගේ.

දේශීය නිෂ්පාදනය හැරුණම මේ රටට සීනි ගෙන්වන්නෙ පිටරටින් ටොන් 550,000 ක්. ඔක්තෝම්බර් මාසේ  13 වෙනිදා ආණ්ඩුව තීරණය කරනවා සීනි කිලෝව රුපියල් 85 යි කියල. ඒ සඳහා සීනි මත පනවල තිබුණු රුපියල් 50 ක බද්ද ඉවත් කරනවා. ඒ වෙනකොට ආණ්ඩුවට හිතවත්ම ව්‍යාපාරිකයෙකුගෙ නැව කොළඹ වරායට කිට්ටු වෙලා. ඒ නැව කොළඹ වරායට එනවා, එක දිගටම ඔහුගෙ නැව් එනවා. ඇවිල්ල ඔහුගේ සීනි තොග ගබඩාවට යනවා. මාස තුනකට මේ ගැසට්ටුව ගහන්නෙ. ඔක්තෝම්බර් 13 යි ජනවාරි 13 යි අතරේ සීනි ටොන් 230,000 ක් මේ රටට එනව. ඒවයෙ සම්පූර්ණ දත්ත අප සතුව තියෙනවා.

ජනාධිපතිතුමා රේගුවට ගිහින් තරවටු කරන්නෙ ඒකයි. මොකද මේ දත්තය එළියට ඇවිල්ල එතුමන්ලගෙ දූෂණයක් නෑ, වංචාවක් නෑ, පිරිසිදු චරිත කියපු එකේ රෙද්ද ගැලවිච්ච නිසා තමයි එතුමට සිත් වේදනා ඇතිවෙලා තියෙන්නෙ. වෙන මොකක් නිසාවත් නෙමෙයි. රේගුවෙ ඇති හොරකම්. හැබැයි මේ හොරකම වගේ හොරකමක් වෙලා නෑ. මේ තමන්ගේ අහිංසක මිනිහගෙ කහට කෝප්පෙන්, සීනි ටිකෙන් ගහපු මුදල ආසන්නයෙන්  රුපියල් බිලියන 10 ක් (මිලියන 10,000). මේ රටේ පුරවැසියො සියලු දෙනාටම කෝවිඩ් එන්නත දෙන්න යන්නෙ බිලියන 08 යි. ඒකටත් ණයක් ඉල්ලුව ලෝක බැංකුවෙන්. මේ රටේ අපි ඇතුළු සියලුදෙනාටම එන්නත එක පාරක් දෙන්න යන්නෙ බිලියන 08 යි. (මිලියන 8000 යි) හැබැයි මේ සීනි වංචාවෙන් හිතවත් ව්‍යාපාරිකයට ලබාදීපු ගණන මිලියන 10,000 ඉක්මවල තියෙනවා.