කුරුවිට බැංකු ශාඛාවක් වසා දමයි

රාජ්‍ය බැංකුවක කුරුවිට පිහිටි ශාඛාවක  කාර්ය මණ්ඩලයේ 4 දෙනෙකුට කෝවිඩ්-19 වයිරසය ආසාදනය වීම හේතුවෙන් එම බැංකු ශාඛාව දින 14ට වසාදැමීමට දැනුම්දුන් බව කුරුවිට සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ ප්‍රකාශකයෙක්  අද(28) පැවසීය.

එම ශාඛාවේ කාර්ය මණ්ඩලයේ 24 දෙනෙකු පීසීආර් පරීක්‍ෂණයකට ලක්කිරීමෙන් පසු මෙම 4දෙනා ආසාදිත බව තහවුරුව තිබේ. බැංකුවේ නිලධාරී නිවාසය, අවිස්සාවේල්ල මාදොල, කුරුවිට පැරඩයිස් සහ කුරුවිට පාතගම යන ප්‍රදේශවල පදිංචි කාර්ය මණ්ඩලයේ 4දෙනෙකු මෙලෙස ආසාදිත බව තහවුරු වී ඇති බවද එම ප්‍රකාශකයා පැවසීය.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!

සෙසු 20දෙනා බැංකුවේ සෙසු කාර්ය මණ්ඩලය වු, ආසාදිත සිව්දෙනාගේ ප්‍රථම පෙළ ආශ්‍රිතයින් ලෙස හඳුනාගෙන ඇත. ඔවුන් දින 14ක කාලයක් නිරෝධායනයට ලක්කර ඇති බවද එම ප්‍රකාශකයා පැවසුවේය. ආසාදිත සිව්දෙනා ප්‍රතිකාර මධ්‍යස්ථාන වෙත යොමු කිරීමට නියමිත අතර එතෙක් ඔවුන් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් නිවෙස්වලම නිරෝධායනයට ලක්කර ඇත.

වසා දැමිමට නියම කෙරුණ බැංකු ශාඛාව සම්පූර්ණයෙන්ම විෂබීජහරණයකට ලක්කර වෙනත් කාර්ය මණ්ඩලයක් යොදවා පාරිභෝගික සේවා ආරම්භ කළ හැකිනම් දින 14ට පෙර යළි විවෘත කිරීමට හැකිනම් ඊට අවසර දුන් බවද සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ ප්‍රකාශකයා පැවසුවේය.

මේ අතර එම බැංකු ශාඛාවේ ආසාදිත නිලධාරිණියකගේ දරුවෙකු ඇහැලියගොඩ පාසලක ඉගෙනුම ලබන බවත් එම දරුවා 27දා පාසල් ගොස් ඇති බවට තොරතුරු ලැබී ඇති බවත් එම ප්‍රකාශකයා සඳහන් කළේය.