නුදුරු දිනක පූදින තරු කැකුළ කුෂි කපූර්
ශ්‍රී දේවි ගේ සහ බොනී කපූර් ගේ වැඩිමහලු දියණිය මේ වන විටත් ජනප්‍රිය නිළියකි. දෙවැනි දියණිය කුෂි කපූර් ද ළඟදීම නිළියක ලෙස දොරට වඩින්නට සූදානමින් සිටින්නීය. සුන්දර පෙනුම සහ ඉහළ පන්නයේ විලාසිතා නිසාම කුෂි මේ වන විටත් සමාජ මාධ්‍ය ජාලාවල ජනප්‍රිය චරිතයකි.
ඇගේ පියා ප්‍රසිද්ධ චිත්‍රපටි නිෂ්පාදකයෙකු බැවින් ඇය පියාගේ චිත්‍රපටියක් තුළින්ම දොරට වඩිනු ඇතැයි බොහෝ දෙනෙක් අනාවැකි පළ කළහ. එහෙත් එය එසේ නොවන බැව් බොනී කපූර් පසුගියදා පැවති මාධ්‍ය සාකච්ඡාවකදී පැවසුවේය.
“කුෂීත් රඟ පාන්න ආසයි.. චිත්‍රපටිය මොකක්ද කියලා ළඟදිම දැන ගන්න ලැබෙයි.. ඒත් ඒ මම නිෂ්පාදනය කරන චිත්‍රපටියක් නෙමෙයි..” ඔහු අවධාරණය කළේය.
ජාන්වි කපූර් මෙන්ම අර්ජුන් කපූර් ද මුලින්ම රඟ පෑවේ ඔහුගේ නිෂ්පාදනවල නොවේ.
“මගේම චිත්‍රපටියකින් එයාලව ක්ෂේත්රයට ගේන්න පුළුවන්කම තිබුණා තමයි.. ඒත් නිෂ්පාදකයෙක් විදියට මම එය නොකළ යුතු දෙයක්.. ඒ වගේම ඒක ඔවුන්ගෙ වෘත්තීය ජීවිතයේ අනාගතයටත් හොඳ දෙයක් නෙමෙයි.. ඔවුන් තමන්ගෙ දක්ෂතා තුළින් තමන්ගෙම ගමනක් යන්න ඕන.. මගේ මල්ලිලා අනිල් කපූර්, සන්ජේ කපූර් ආවෙත් ඒ විදියට තමයි.. ඔවුන් දෙන්නා අදත් ක්ෂේත්රයේ ජනප්‍රිය චරිත.. ඒ ගැන මම ආඩම්බර වෙනවා.. මගෙ දරුවෝ ගැනත් එහෙම ආඩම්බර වෙන්නයි මට ඕනෙ..”
මේ වන විට නිෂ්පාදකයෙකු පමණක් නොව නළුවෙකු ද වී සිටින බොනී කපූර් කියන්නේය.