WHO : ගෙවුණු සතියේදීත් ගෝලීය ආසාදන පහළ යෑමක් – ලෝක සෞඛ්‍ය සංවිධානය
ගෙවුණු පෙබරවාරි 14දා දක්වා වූ සතියේ ගෝලීය කොවිඩ්-19 වෛරසය ආසාදිතයන් 16%කින් අඩු වූ බව ලෝක සෞඛ්‍ය සංවිධානය ඊයේ (16දා) සිය තොරතුරු යාවත්කාලීන කරමින් නිවේදනය කළේය.
ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන්නේ පසුගිය සතියේ කොරෝනා වෛරසය ආශ්රිත මරණ 81,000ක් සහ නව ආසාදිතයන් මිලියන 2.7ක් වාර්තා වී ඇති බවයි. එය ඊට පෙර සතියට සාපේක්ෂව නව ආසාදිතයන් 500,000කට වඩා අඩු වීමකි.
නැඟෙනහිර මධ්‍යධරණි කලාපය හැර අනෙකුත් සියලුම ප්‍රදේශවල නව අවස්ථා ද්විත්ව සංඛ්‍යා ප්‍රතිශතයකින් අඩු වී ඇති අතර, නව මරණ සෑම කලාපයකම අඩු වී ඇති බවද ලෝක සෞඛ්‍ය සංවිධානය වාර්තා කරයි.
එක්සත් ජනපදයෙන් තවමත් වැඩිම නව ආසාදිතයන් සංඛ්‍යාවක් වාර්තා කරන අතර බ්‍රසීලය, ප්‍රංශය, රුසියාව සහ එක්සත් රාජධානිය සහ උතුරු අයර්ලන්තය ඉන් අනතුරුව වැඩිම ආසාදන වාර්තා කරයි.
ලෝක සෞඛ්‍ය සංවිධානය සඳහන් කළේ එක්සත් රාජධානියේ ප්‍රථම වරට හඳුනාගත් කොරෝනා වෛරස ප්‍රභේදය දැන් රටවල් 94කින්ද, දකුණු අප්‍රිකාවේ ප්‍රථම වරට හඳුනාගත් ප්‍රභේදය 46කින්ද, බ්‍රසීලයෙන් ප්‍රථම වරට හඳුනාගත් ප්‍රභේදය 21කින්ද සොයාගෙන ඇති බවයි.
ලොව පුරා කොවිඩ්-19 ආසාදනවල පසුගිය සති කිහිපය තුළ 17% සහ 16% යන ප්‍රතිශතයන්ගෙන් පහළ යමින් තිබුණද, මීට පෙර පළමු වැනි කොවිඩ්-19 රැල්ල අවස්ථාවේදී සිදුකළාක් මෙන්, වසංගතය පිළිබඳ මහජන සෞඛ්‍ය ආරක්ෂක පිළිවෙත් අතපසු නොකර, තවදුරටත් ඒවා පිළිපදින ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්යක්ෂ ජනරාල්වරයා පසුගියදා මාධ්‍ය හමුවේ සියලු රටවලට අවධාරණය කළේය.