බස්නාහිර පළාතේ 57,000 කට අද කොවිඩ් එන්නත ලබාදීමට යයි
අද දිනය තුළ බස්නාහිර පළාතේ පුද්ගලයින් 57,000කට ආසන්න ප්‍රමාණයකට කොවිඩ් එන්නත ලබාදීමට නියමිත බව වැඩබලන සෞඛ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන පවසනවා. කොළඹ දිස්ත්‍රික්කයේ 27,018ක්, ගම්පහ දිස්ත්‍රික්කයේ 17,622ක් හා කළුතර දිස්ත්‍රික්කයේ 11,710ක් ලෙස එම එන්නත්කරණය සිදුකිරීමට නියමිත බවයි පෞද්ගලික රූපවාහිනී නාලිකාවක් සමග පැවති වැඩසටහනකට එක්වෙමින් අමාත්‍යවරයා පැවසුවේ.
ඒ අනුව කොළඹ දිස්ත්‍රික්කයේ කොළොන්නාව, ගොතටුව, මොරටුව, එගොඩඋයන සහ හංවැල්ල යන සෞඛ්‍ය බලප්‍රදේශවලත්, කළුතර දිස්ත්‍රික්කයේ අඟලවත්ත, බණ්ඩාරගම, මතුගම, පානදුර, හොරණ, බේරුවල, කළුතර යන සෞඛ්‍ය බලප්‍රදේශවලත්, ගම්පහ දිස්ත්‍රික්කයේ ගම්පහ, අත්තනගල්ල, මීගමුව, සීදුව, මහර, බියගම, වත්තල, මිනුවන්ගොඩ, රාගම, ජා-ඇල හා කැලණිය යන සෞඛ්‍ය බලප්‍රදේශවලත් හඳුනාගත් ග්‍රාමසේවා නිලධාරී කොට්ඨාසවල අවුරුදු 30 – 60ත් අතර සියලුදෙනාට අද දිනය තුළ එන්නත් ලබාදීමට ජනාධිපතිවරයා විසින් උපදෙස් ලබාදී තිබේ.