අභිරහස් ලෙස වවුනියාවේ පුද්ගලයෙකුට ලැබුණු රුපියල් ට්‍රිලියනය කොල්ල කන්න පැමිණි, පිළියන්දල කණ්ඩායම අත්අඩංගුවට

වවුනියාව නෙලුම්කුලම කූමාංකුලම ප්‍රදේශයේ පදිංචි පුද්ගලයකුගේ ගිණුමකට විදේශ රටකින් එවා තිබූ රුපියල් ට්‍රිලියනයක මුදලක් (රුපියල් කෝටි ලක්ෂයක්) ලබාගැනීම සඳහා එම පුද්ගලයා පැහැරගෙන යෑමට කොළඹ සිට වවුනියාවට පැමිණි සංවිධානාත්මක කණ්ඩායමක් වවුනියාව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් පිරිස අතර මෙම කණ්ඩායමට නායකත්වය දුන් පිළියන්දල පදිංචි කාන්තාවක් හා බන්ධනාගාර නිලධාරියකු ඇතුළු හයදෙනකු සිටින බව වවුනියාව පොලිසිය භාර ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් කීය.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!

පොලිසිය පවසන අන්දමට වවුනියාවේ කූමාංකුලමේ පදිංචිව සිටින කන්දසාමි නමැති අයට ඇමෙරිකා එක්සත් ජනපදයේ සිට රුපියල් ට්‍රිලියනයක මුදලක් එවා ඇත. ඒ එක්තරා සංවිධානයකට යොමු කිරීමේ අවශ්‍යතාව මතය.

එහෙත් ඔහුගේ ගිණුමට බැරවී ඇති මෙම මුදල සම්බන්ධයෙන් නිසි අයිතිවාසිකම් පෙන්වීමටත් එම මුදල ඔහුගේ නමට එවූ පුද්ගලයා පිළිබඳ නිසි තොරතුරු ලබාදීමටත් කූමාංකුලම පදිංචි කන්දසාමි නමැත්තා අපොහොසත් වීම නිසා ශ්‍රී ලංකා මහ බැංකුව එම ට්‍රිලියනයක මුදල ඔහු වෙත නිකුත් කිරීම ප්‍රතික්ෂේප කර ඇත.

ඒ අතර මෙම පුද්ගලයා එම මුදල් ලබාගැනීමට තවත් පිරිසක් සමඟ මහත් වෙහෙසක් දරා ඇතත් එයද අසාර්ථක වීම නිසා ඔහු යළි වවුනියාවට පැමිණ ඇත.

පසුව මේ පිළිබඳ තොරතුරු දැන සිටි මොහුට හිතවත් අයකු මේ සම්බන්ධයෙන් තවත් පුද්ගලයන්ට දැනුම් දී කන්දසාමිට කතා කොට අදාළ ලියකියවිලි සකස් කරගෙන ඇති බවත් ඒ සඳහා කන්දසාමිගේ අස්සන අවශ්‍ය බව කියමින් ඔහුට කොළඹට එන ලෙස කිහිප වතාවක්ම දැනුම් දී ඇත. ඒත් කන්දසාමි නොයෙකුත් දේ කියමින් කොළඹ යන ගමන ප්‍රතික්ෂේප කර ඇත.

මේ නිසා උරණ වූ මෙම කණ්ඩායම වාහන දෙකකින් වවුනියාවට පැමිණ ඇත්තේ කන්දසාමි පැහැරගෙන ගොස් එම ටි්‍රලියනයක මුදල ලබාගැනීමටය. එහෙත් මේ වන විට එම මුදල ගෙවීම මහ බැංකුව විසින් තහනම් කර තිබේ.

කෙසේ වෙතත් තමන් පැහැරගෙන යෑමට මෙම කණ්ඩායම පැමිණ ඇති බව දන්වා කන්දසාමි සැඟව ඇතත් ඔහු සොයාගත් පිරිස කන්දසාමිව කොළඹට ගෙන යෑමේ අදහසින් පැමිණි වාහනයක ඔහු නංවාගෙන ඇත. එහෙත් අතරමඟදී මේ බව වටහා ගත් කන්දසාමි වහා වාහනයෙන් බැස පුවරසන්කුලම පොලිසියට ගොස් මේ බව පවසා තිබේ. පසුව පුවරන්සන්කුලම පොලිස් ස්ථානාධිපති චමින්ද එදිරිසූරිය ඇතුළු කණ්ඩායමක් කන්දසාමි පැහැරගෙන යෑමට පැමිණි කාන්තාව ඇතුළු සය දෙනා අත්අඩංගුවට ගෙන වැඩිදුර පරීක්ෂණ සඳහා ඔවුන් වවුනියාව මූලස්ථාන පොලිසියට භාරදී ඇත.

ඒ ඔවුන් පැමිණි වාහන දෙකද සමඟය.

පසුව වවුනියාව මූලස්ථාන පොලිසියේ වැඩ බලන ස්ථානාධිපති මනෝජ් කුමාර අලගියවන්න මහතා මේ පිළිබඳ විමර්ශනය සිදුකොට සැකකාරිය හා සැකකරුවන් පස්දෙනා පැහැරගෙන යෑමට තැත් කිරීමේ චෝදනාව මත වවුනියාව මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර ඇත. අධිකරණය සැකකාරිය හා සැකකරුවන් පස් දෙනා මේ මස 23 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කළේය.

වවුනියාව කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි තිස්ස ලාල් ද සිල්වා මහතාගේ උපදෙස් මත වවුනියාව වැඩබලන ස්ථානාධිපති මනෝජ් කුමාර අලගියවන්න හා පුවරසන්කුලම පොලිස් ස්ථානාධිපති චමින්ද එදිරිසූරිය ඇතුළු කණ්ඩායමක් මේ පිළිබඳ විමර්ශන පැවැත්වූහ.