විමල්, පොහොට්ටු මත ගැටුමට ජනපති මැදිහත් වේ
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ ආණ්ඩුව නියෝජනය කරන පක්ෂ නියෝජිතයින් සෑම සති දෙකකට වරක් හමුවී ඉදිරි දේශපාලන කටයුතු පිළිබඳව සාකච්ඡා කිරීමට එකඟතාවකට පැමිණ තිබේ.
අමාත්‍ය විමල් වීරවංශ මහතා ඒ බව අද (19) පැවසීය.
ඔහු මේ බව සඳහන් කළේ ආණ්ඩුව නියෝජනය කරන පක්ෂ 10ක නියෝජිතයින් අද පස්වරුවේ ජනාධිපතිවරයා සමඟ පැවති සාකච්ඡාවෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.
“සාර්ථක සාකච්ඡාවක් තිබුණා ජනාධිපතිවරයා සමඟ. එතුමා අපි ඉදිරිපත් කළ අදහස් බොහෝ දේවල් පිළිගත්තා. ඒ වගේම එතුමාගේ පැත්තෙන් ඇති අදහස් ඉදිරිපත් කළා. සති දෙකකට හෝ තුනකට වරක් මේ විදියට අපේ පක්ෂ සමග සාකච්ඡා කරන්නත් ඒ අනුව කටයුතු කරන්නත් එතුමාගේ කැමැත්ත පළ කළා. ආණ්ඩුවක් හැටියට රටක් හැටියට ඉදිරි ගමන යෑමට අවශ්‍ය කරන නායකත්ව මැදිහත් වීම එතුමා දෙන බවත්, ඒ වගේම, අපේ පක්ෂ සමග මේ සාකච්ඡාව ඉදිරියට ගෙන යන බවත් එතුමා අවධාරණය කළා.“
කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය ඉන්දියානු සමාගමකට ලබාදීමට ආණ්ඩුව පසුගිය සමයේ ගත් උත්සාහයට විරෝධය පළ කිරීමට අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ නිවසට ආණ්ඩුවට සම්බන්ධ පක්ෂ 10 ක නියෝජිතයින් පසුගියදා රැස්වී සාකච්ඡා පැවැත්වීය.
එම සිදුවීමෙන් පසුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ අමාත්‍ය විමල් වීරවංශ මහතා අතර මත ගැටුමක් ද ගොඩනැගුණි.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායකත්වයට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පැමිණිය යුතු බවට අමාත්‍ය විමල් වීරවංශ මහතා සතිඅන්ත පුවත් පතකට ලබාදුන් ප්‍රකාශයක් ද ඊට හේතුවිය.
ආණ්ඩුවට සම්බන්ධ පක්ෂ අතර මත ගැටුම් දිනෙන් දින උත්සන්න වන පසුබිමක ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විමල් වීරවංශ මහතාගේ නිවසට රැස්වූ පක්ෂ 10 යේ නියෝජිතයින්ට අද සාකච්ඡාවක් ලබාදුන්නේය.