CIDයේ නියෝජ්‍ය පොලිස්පතිව මාරු කර යැව්වේ කාදිනල් හිමිගේ ඉල්ලීමටද ?

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය පොලිස්පති නුවන් වෙදසිංහ මහතා වහාම ක්‍රියාත්මක වන පරිදි බස්නාහිර උතුර වැඩබලන නියෝජ්‍ය පොලිස්පති තනතුරට මාරුකර යවා ඇති බව අපි මීට පෙර පුවතකින් සඳහන් කළෙමු.

මෙම ස්ථානමාරුවට බලපෑ හේතුව වී ඇත්තේ පාස්කු ප්‍රහාරය සම්බන්ධ විමර්ශනයය යනුවෙන් පොලිස් දෙපාර්තමේන්තුව තුළ කතාබහට ලක්වී තිබෙන බව වාර්තා වේ.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!

පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් බරපතළ චෝදනා ඇති බව කියමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත් අඩංගුවට ගෙන මාස පහක් තිස්සේ රඳවාගෙන තබාගෙන සිටි හිටපු අමාත්‍ය රිෂාඩ් බදූර්දීන් මහතාගේ සොයුරු රියාජ් බදූර්දීන් මහතාව කිසිදු චෝදනාවක් සම්බන්ධයෙන් නඩු පැවරීම සඳහා කිසිදු සාක්ෂියක් නොමැති බව කියමින් මුදා හැරුණේ මීට කිහිපයකට ඉහතදීය.

 

මේ සම්බන්ධයෙන් දැඩි විමතියට පත්වූ කොළඹ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් ඊයේ (03) මාධ්‍ය හමුවක් පවත්වමින් පැවසුවේ මෙසේ සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් නොකර නිදහස් කිරීම යම් දේශපාලන ඩීල් එකක් නිසා සිදුවන්නක්දැයි සැකයක් තමන්ට පවතින බවයි.

අද දිනයේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සිය ෆේස්බුක් පිටුව හරහා විශේෂ නිවේදනයක් නිකුත් කරමින් ඊට ප්‍රතිචාර දක්වා තිබුණේ බදූර්දීන් මහතා සමඟ කිසිදු ඩීල් එකක් තමන්ට නොමැති බව පවසමිනි.

එසේම මෙහිදී අදාළ බලධාරීන් අතින් යම් අතපසුවීමක් හෝ අත්වැරැද්දක් සිදුව ඇත්නම් ඒවා නිවැරදි කිරීමට ද තමන් කටයුතු කරන බව ජනාධිපතිවරයා පවසා තිබිණි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය පොලිස්පතිවරයා මාරුකර යැවීම පිළිබඳ පුවත කරළියට එන්නේ මේත් සමඟය.

ඒ අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය පොලිස්පතිවරයා මාරුකර යැවුණේ කාදිනල් හිමියන්ගේ ඉල්ලීමක් අනුව බවට කතාවක් මේ වනවිට පොලිස් දෙපාර්තමේන්තුව තුළ පැතිර යමින් පවතී.

එසේම මීට පෙර අධිකරණ අමාත්‍යවරයා පත්කිරීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සහ කාදිනල් හිමියන් අතර සිදුවූ යම් සිදුවීමක් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ මැදිහත්වීමෙන් මිත්‍රශීලීව විසඳාගෙන ඇති අතර නැවත එවන් තත්වයක් ඇති නොවන බව තහවුරු කිරීම සඳහා මෙසේ නියෝජ්‍ය පොලිස්පතිවරයාව වහාම මාරුකර යැවීමට පියවර ගෙන ඇති බවක් පොලිස් දෙපාර්තමේන්තුව තුළ කතාබහට ලක්වන බවයි ආරංචිමාර්ග සඳහන් කළේ.