නයිජීරියාවේ පාසල් සිසුවියන් සිය ගණනක් පැහැරගෙනලු
වයඹදිග නයිජීරියාවේ සැම්ෆාරා ප්‍රාන්තයේ රජයේ පාසලක් වටලා ආයුධ සන්නද්ධ පිරිස් ඊයේ (26දා) අලුයම පාසල් සිසුන් සිය ගණනක් පැහැරගෙන ගොස් ඇති බව වාර්තා වෙයි.
ජැන්ගෙබේ රජයේ ද්විතීයික බාලිකා පාසල වැටලූ තුවක්කුකරුවන් විසින් පාසල් සිසුවියන් ඔවුන්ගේ නේවාසිකාගාරවලින් රැගෙන ගොස් ඇති බව කියයි.
මෙම ප්‍රහාරයෙන් පොලිස් නිලධාරියෙකු මිය ගොස් ඇත. යතුරුපැදි 20කින් පමණ පැමිණ ඇති මෙම පිරිස, පැහැරගත් ගැහැණු ළමයින් වනාන්තරයට රැගෙන ගොස් තිබේ. මෙම ප්‍රහාරකයන් අළුයම 1.45ට පමණ පාසලට කඩා වැදී ඇති අතර, ඔවුන් පාන්දර 3 පමණ වන තෙක් ක්‍රියාත්මක වී තිබේ.
මෙම පාසලට මිනිත්තු 4ක දුරින් හමුදා කඳවුරක් තිබුණද මෙම පැහැරගැනීම වළක්වා ගැනීමට නොහැකි වී තිබේ.
සාමාන්‍යයෙන් සිසුන් 500ක් පමණ නේවාසිකාගාරයේ සිටින අතර ඔවුන්ගෙන් 315ක් පමණ තුවක්කුකරුවන් විසින් රැගෙන ගොස් ඇත. මෙහිදී ඇතැම් සිසුන් පළා ගොස් බේරී ඇත.