එන්නත් නිෂ්පාදකයන් සමග සෘජු ගනුදෙනු කරන රටවල් COVAX වළකනවා

COVAX පහසුකම සඳහා එන්නත් ලබාදෙන කොවිඩ්-19 ආරක්ෂණ එන්නත් නිෂ්පාදකයින් සමග සෘජුව ගනුදෙනු කරන රටවල් ලොව පුරා සිටින පුද්ගලයින්ට එන්නත් ලබාදීමේ ප්‍රයත්නය අඩපණ කරන බවට ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් ටෙඩ්‍රොස් අද්නාම් ගෙබ්‍රයිසස් චෝදනා කරයි.

“අපි එන්නත් සැපයීම හා බෙදාහැරීම වේගවත් කළ යුතුයි. සමහර රටවල් COVAX පහසුකම වෙනුවෙන් එන්නත් නිපදවන නිෂ්පාදකයින් වෙත දිගටම යොමු වන්නේ නම් අපට එය කළ නොහැකියි. මේ ක්‍රියාවන් COVAX පහසුකමට වළ කපන අතර සෞඛ්‍ය සේවකයින් සහ ලොව පුරා එන්නත් බලාපොරොත්තුවෙන් සිටින ජනතාවට ජීවිතාරක්ෂක එන්නත් අහිමි කරනවා.” ටෙඩ්‍රොස් එවැනි ගනුදෙනු කරන කිසිදු රටක් නම් නොකරමින් මෙම චෝදනාව විවෘතව කළේය.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!

COVAX යනු ගැවි නමින් හැඳින්වෙන එන්නත් සන්ධානය සහ ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) ඇතුළත් සන්ධානයක් විසින් පවත්වාගෙන යනු ලබන ආයතනයක් වන අතර, එයට අරමුදල් සපයනු ලබන්නේ රජයන්, බහුපාර්ශ්වීය ආයතන සහ පදනම්වලින් ලැබෙන පරිත්‍යාගයන් මගිනි.

එහි මෙහෙවර වන්නේ කොරෝනා වෛරස ආරක්ෂණ එන්නත් තොග වශයෙන් මිලදී ගෙන ධනවත් රටවල් සමග තරගකළ නොහැකි දුප්පත් රටවලට එන්නත් සඳහා ප්‍රවේශය ඉක්මනින් ලබාදීමය.

තම ජනතාව ආරක්ෂා කිරීමට රජයන්ට බැඳීමක් ඇති බව තමා තේරුම් ගෙන ඇති බව පැවසූ ටෙඩ්‍රොස්, එය කළ හැකි හොඳම ක්‍රමය වන්නේ සෑම තැනකම එකවරම වෛරසය මර්දනය කිරීමෙන් බවද සඳහන් කළේය.

කෙසේ වෙතත් එන්නත ඉතා ප්‍රබල මෙවලමක් වුවද ඒවා එකම මෙවලම නොවන බවද ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානියා අවධාරණය කළේය. ඒ නිසා අනෙකුත් වෛද්‍ය සැපයුම් මෙන්ම, දැනට පවත්වාගෙන යන මහජන සෞඛ්‍ය ආරක්ෂණයන්හි වැදගත්කමද ඔහු ඉස්මතු කළේය.