ඔබට සේම වනජීවීන්ටද මහපොළවේ ජීවත් වීමට අයිතියක් ඇත
මිනිසාට මෙන්ම ලෝකයේ ජීවත් වන විශාලම සත්ත්වයාගේ සිට කුඩාම සත්ත්වයාටත් මිහිතලයේ නිදහසේ හුස්ම ගැනීමට එක හා සමාන අයිතියක් ඇත. අද (03දා) ලෝක වනජීවී දිනයයි. ලෝකය පුරා අද දින ලෝක වනජීවී දිනයට සමගාමීව විවිධ උත්සවයන් පැවැත් වේ. පසුගිය කාලය පුරාවට ලංකාවේ සිදුවුණු විශාල වනාන්තර විනාශයන් සේම ඉන් වනජීවීන්ට සිදුවුණු හානියද අති විශාලය. එම නිසා අද වන විට වනජීවීන් පිළිබඳව අපට කතා කිරීමට ඇත්තේද ඉතා කණගාටුවෙනි. මේ ඒ පිළිබඳව ගෙන එන ලිපියකි.
ලංකාවේ වන ගහණය පැවතිය යුතු අවම මට්ටමටත් වඩා අඩුවෙන් තිබීම මේ වන විට වනජීවීන් මෙන්ම මිනිසුන්ද මුහුණ දෙන ප්‍රධාන ගැටලුවකි. වනජීවීන්ගේ පාරම්පරික වාසස්ථාන, නිජබිම් අහිමි වීම, එම භූමි තුළ වගාබිම්, නිවාස ඉදිකිරීම, මාර්ග සංවර්ධනයන් ඇතුළු විවිධ මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන් වනජීවීන්ගේ නිදහස් ජීවිතයට විශාල බලපෑමක් එල්ල වී ඇත.
ලංකාවේ වනාන්තර එළිකරමින් ඒවායෙහි මිනිස් වාසයන් ඇතිවීම තුළින් ඇතිවුණ %අලි මිනිස් ගැටුම^ අද වන විට කිසිවෙකුටවත් නැවතිය නොහැකි මට්ටමකට පැමිණ ඇත. එමෙන්ම මෑත කාලයේදී විටින් විට අසන්නට, දකින්නට ලැබුණු %කොටි මිනිස් ගැටුම^ද නිර්මාණය වන්නට ප්‍රධාන හේතුවක් වූයේ වනාන්තර එළි කිරීමයි. මෙවැනි තත්ත්වයක ලංකාව පවතින මේ මොහොතේදීත් රජයේ අනුග්‍රහයෙන් වන විනාශය සිදුකිරීම ඉතා විශාල ඛේදවාචකයකි.
කෘෂිකර්මාන්තය සහ සංවර්ධනය රටට අවශ්‍ය වන නමුත්, ඒවා සිදුකළ යුත්තේ වනාන්තර විනාශ කරමින් නොව වනාන්තර රැක ගනිමිනි. ලෝකයේ බොහෝ රටවල වනාන්තරවලට හානි නොවන අයුරින් සංවර්ධනය වී ඇති බවට ඕනෑතරම් සාක්ෂි තිබේ. පසුගිය කාලසීමාව තුළ විශාල වශයෙන් වුණු වන සංහාරයට ප්‍රධාන හේතුවක් වූයේ මිනිසුන්ගේ වගා කටයුතුවලට වගාබිම් ලබාදීමය. එමෙන්ම මේ වන විට ගොවීන්ට තුවක්කු ලබාදීමටද රජය තීරණයක් ගෙන ඇති බවට පසුගිය දිනවල පැතිරුණු කතාවකි.
මෙවැනි පසුබිමක අප ‘වනජීවීන්ගේ දිනය’ සැමරිය හැක්කේ කෙලෙසින්ද යන්න පිළිබඳව පරිසර යුක්ති කේන්ද්‍රයේ විධායක අධ්‍යක්ෂ, පරිසරවේදී හේමන්ත විතානගේ මහතා මෙසේ අදහස් දැක්වීය.
වනජීවී සංරක්ෂණ එකට වනජීවීන්ව ආරක්ෂා කරන්න තනියම බැහැ..
ලෝකයේ බිහිවුණු වනජීවීන්ගෙන් සියයට හැත්තෑවක් පමණ අප මේ වන විට විනාශ කරලා තියෙනවා. අපි 1970 වන විට පහුගිය සියවසේ හිටපු සතුන්ගෙන් 80%ක් පමණ විනාශ කරලා තියෙනවා. ලංකාවේ අපට තිබෙන ගැටලුව වන්නේ දැන් ඉතිරි වෙලා ඉන්න සත්තු ඉන්නේ 20%කටත් වඩා අඩු වනාන්තර කොටසක වීමයි. පසුගිය දවස්වල අපි කරපු පර්යේෂණවලදී ශාක වර්ග 7500ක් පමණත්, සතුන් විශේෂ 18,000ක් පමණ මේ වනාන්තර කොටසේ තමයි ජීවත් වෙන්නේ. ඒ සත්ත්ව විශේෂ 18,000න් 11,000ක්ම ඉන්නේ කෘමී විශේෂයන්. ඒ වනාන්තර ටික තමයි මේ මොහොතේදී විනාශ කරමින් යන්නේ.
ඊට අමතරව මේ වනාන්තර ටික කෑලි කෑලි කඩලා, සතුන්ගේ ගමන් මාර්ග වෙනස් කරලා ගොවිබිම් ඇති කරලා තියෙනවා. එතකොට ඒ සතුන් ඔවුන්ගේ මාර්ගයේ ඇවිත් තවත් වනාන්තරයකට මාරු වෙන්නෙත් ගොවිබිම් හරහා. එතකොට ඒ සත්තු මරන්න ආණ්ඩුව තුවක්කු දෙනවා. අක්කරයකට වඩා වැඩි ඉඩම් තිබෙන මිනිස්සු ලංකාවේ මිලියන දෙකක් ඉන්නවා. එතකොට මේ මිලියන දෙකට තමයි තුවක්කු දෙන්න හදන්නේ. ඒ මිලියන දෙකටම තුවක්කු ලැබිලා එක රැයකට සත්තු 10,000ක් විතර ඝාතනය කළොත් ඉදිරි අවුරුදු දෙක ඇතුළත අපට ඉන්න වනජීවීන් සියලුදෙනා නැතිවෙලා යනවා. රටේ ජනතාවත් එවැනි දේකට එකතු වනවා කියන එක විශාල වනජීවී සංහාරයකට සහයෝගය දැක්වීමක්.
අනිත් පැත්තෙන් අපේ රටේ බෞද්ධයෝ 69%ක් විතර ඉන්න රටක්. තවමත් සතුන් මරාගෙන කෑමට, සත්තු දඩයම් කිරීමට විරුද්ධව %අනේ පව්^ කියලා හරි කියන මිනිස්සු ඉන්නවා. ඒ වගේ රටක මිලියන දෙකක මිනිස්සුන්ට තුවක්කු දෙනවා කියන එක විශාල පාපයක් සහ රජයක් විදිහට සතුන්ට කරන්න පුළුවන් නරකම ක්‍රියාවක් විදිහට තමයි අපි දකින්නේ. අපේ රටේ වනජීවී සංරක්ෂණ එකට වනජීවීන්ව ආරක්ෂා කරන එක තනියම කරන්නත් බැහැ. ඒ වගේම මේ රටේ මිනිස්සුන්ගෙන් බහුතරයක් සංරක්ෂණයට උදව් දෙන්නෙත් නැහැ. ඒ වගේ තත්ත්වයක් තුළ අපේ ඊළඟ පරම්පරාවට වනාන්තර නැති, වනජීවීන් කූඩු කරපු, උපත් නිජබිම් නැති තැන් තමයි දකින්න ලැබෙන්නේ.
පහුගිය දවස්වල හූනන් එහෙම හමුවුණු වනාන්තර තමයි මේ වෙද්දි වගාවන්ට කියලා හෙළිපෙහෙළි කරන්නේ. ඒක මහ විශාල පරිසර සංහාරයක්. ගම්වල මිනිස්සුන්ට මේ පිළිබඳව කිසිම අදහසක් නැහැ. ඒ අය හිතන්නේ වනාන්තරවල සත්තු ඕනෑතරම් ඉන්නවා කියලා. ලංකාවේ එහෙම විශාල සත්තු ප්‍රමාණයක් නැහැ. සමහර තැන්වල මොණරු වැඩියි, සමහර තැන්වල ඌරෝ වැඩියි තමයි. හැබැයි ඒක විද්‍යාත්මක ක්‍රමවේදයකට කළමනාකරණය නොකර වෙඩි තියන්න තුවක්කු දෙනවා කියන එකට ලෝක වනජීවී දිනයේදී අපි සම්පූර්ණයෙන්ම විරුද්ධයි.
අලි, කොටි මෙන්ම උරගයන්, උභයජීවීන්, කුරුළු විශේෂ, මත්ස්‍ය විශේෂ රැසක් වනාන්තර විනාශය නිසා සොබාදහමට අහිමි වෙයි. ඇතැම්විට දුර්ලභ සත්ත්ව විශේෂ, වඳවීමේ තර්ජනයට ලක්ව ඇති ජීවී විශේෂයන්ද මේ හේතුවෙන් සොබාදහමට අහිමි වී යයි. මේ පිළිබඳව තරුණ සත්ත්වවේදීන්ගේ සංගමයේ සභාපති හසන්ත විජේතුංග මහතා මෙසේ අදහස් දැක්වීය.
ලංකාවේ මේ වන විට ගොඩක්ම පරිසර ප්‍රශ්න ඇතිවෙන්න ප්‍රධානම හේතුව තමයි වනාන්තර ආශ්‍රිතව සිදුවන කෘෂිකර්මාන්තය…
පසුගිය කාලයේදී වුණු වන විනාශය නිසා වනජීවීන්ට සිදුවුණු හානිය කොපමණදැයි ගණනය කරන්න බැහැ. අපි මුලින්ම රතු දත්ත ලේඛනයක් ලබාගන්නේ 2012 වර්ෂයේදී. ඒක තමයි අවසන් වරට ලබාගත් සම්පූර්ණ රතු දත්ත ලේඛනය. ඊට පස්සේ 2020දි රතු දත්ත ලේඛනයක් ආවා. හැබැයි ඒකෙ තිබුණේ %මත්ස්‍ය ^ සහ %උරගයන්^ ගැන විතරයි. ඒ ලේඛනයේදී ‘මත්ස්‍යන්’ කොටස ගත්තොත් 2012දි තිබුණට වඩා වැඩියෙන් %තර්ජිත^ මත්ස්‍ය විශේෂ ප්‍රමාණය එන්න එන්නම වැඩි වෙලා. ඒකට ගොඩක්ම හේතුව තමයි ලංකාවේ මේ වන විට සිදුවන වන විනාශය.
මෙවර වනජීවී දිනයේ තේමාව වෙලා තියෙන්නේ %වනාන්තර සහ ජීවනෝපාය (කෘෂිකර්මාන්තය)^ කියන එක. ලංකාවේ මේ වන විට ගොඩක්ම පරිසර ප්‍රශ්න ඇතිවෙන්න ප්‍රධානම හේතුව තමයි වනාන්තර ආශ්‍රිතව සිදුවන කෘෂිකර්මාන්තය. උදාහරණයක් විදිහට ගත්තොත් ජල ගැලුම් නිම්නයේ ගැටලුව, රඹකැන් ඔය, සෝමාවතී රක්ෂිතය වැනි ගැටලු ඇතිවුණේ මේ කෘෂිකර්මාන්තය නිසා තමයි. මේ නිසා වක්‍රාකාරව වනජීවීන්ට විතරක් නෙවෙයි මිනිස්සුන්ටත් තර්ජනයක් එල්ල වෙනවා. අපි හැමෝම දන්න ප්‍රශ්නයක් තමයි කාලෙක ඉඳලා තිබෙන %අලි මිනිස්^ ගැටුම ඇතිවෙන්නෙත් වනජීවීන්ගේ වාසස්ථාන අහිමි කිරීම නිසා කියලා. අදටත් අපිට අලි මිනිස් ගැටුම නවත්වා ගන්න බැරිවෙලා තියෙනවානේ. මිනිස්සු වනාන්තර ඇතුළට යෑම සහ හෙළිපෙහෙළි කිරීම වනජීවීන්ට තර්ජනයක්. ඒ අපිට ඇහැට පේන ජීවීන් විතරයි. උභයජීවීන්ට, උරගයන්ට ඊටත් වඩා ලොකු තර්ජනයක් එල්ල වෙනවා. උභයජීවීන් ජීවිත කාලයේදීම ඉන්නෙ පොඩි වපසරියක් ඇතුළේ. සමහරවිට වනාන්තරයක එළි කරද්දි අලියෙකුට, දිවියෙකුට වෙනත් වනාන්තරයකට යන්න පුළුවන් වුණත් උභයජීවීන් විශාල ප්‍රමාණයක් එතැනම විනාශ වෙලා යන්න පුළුවන්.
පසුගිය වසර පුරාම විටින් විට දුර්ලභ කළු කොටි මදුවලට හසු වී ඝාතනය වුණා. ඒකත් කෘෂිකර්මාන්තයට යම් සම්බන්ධයක් දක්වනවා. මිනිස්සු තමන්ගේ වගාවන් වල් ඌරන්ගෙන් ආරක්ෂා කරගන්න මදු අටවනවා. මේක නීතිවිරෝධී වැඩක්. නමුත් නීතිය අතික්‍රමණය කරලා වැඩ කරනවා. ඒකෙ ප්‍රතිවිපාකය ලැබෙන්නේ වල් ඌරන්ට විතරක් නෙවෙයි, කළු කොටි වගේ දුර්ලභ සත්තුන්ට. ඒ වගේම ඉදිරියේදී එන්න තියෙන තව ප්‍රශ්නයක් තමයි ගොවීන්ට තුවක්කු ලබාදෙන එක. මේක වනජීවීන්ට එල්ල වන ඊළඟ ප්‍රශ්නයයි. වගාවට හානිකරන සතෙකුට විතරක් තුවක්කු පත්තුවෙයි කියලා හිතන්න අමාරුයි. ඒ වගේම සමහර වෙලාවට ඒක එතැනින් එහාට ගිහිල්ලා මිනිස්සුන්ටත් අනාගතයේදී ප්‍රශ්නයක් වෙන්න පුළුවන්.
වනජීවීන් රැකගනිමින්, වන සම්පත රැක ගනිමින්, සොබාදහම ආරක්ෂා කර ගනිමින් රටක් සංවර්ධනය විය යුතුය. එමෙන්ම මේ මිහිතලය මත තිබෙන සියලු දෑ තමන්ටම පමණක්ය යන සිතුවිල්ල තුළ සිට වනාන්තරයේ සිටින වනසතුන් දඩයම් කරමින් සහ ඔවුන්ගේ වාසස්ථාන අහිමි කරමින් ජීවත්වීමට උත්සාහ ගන්නා පුද්ගලයන්ට සිය ආකල්පය වෙනස් කර ගැනීමටද කාලය එළැඹ ඇති බව අවසන් වශයෙන් මතක් කර දීමට කැමතිය.