මොණරාගල සහ කුරුණෑගලින් තවත් 3 දෙනෙක්: මිනුවන්ගොඩ ඇඟලුම් කම්හල ආශ්‍රිත ආසාදිතයින් ගණන ඉහළට

දිවුලපිටියේ කොවිඩ්-19 ආසාදිත කාන්තාවගේ ආශ්‍රිතයෙකු වන මොණරාගල ප්‍රදේශයට පැමිණ ඇති බව පැවසූ ඇඟලුම් ආයතනයේ සේවිකාවට ද කොරෝනා ආසාදනය වී ඇති බව තාහවුරු වී තිබේ.

මොණරාගල පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා සඳහන් කළේ, පී.සී.ආර්. පරීක්ෂණය හරහා මේ බව තහවුරු වූ බවය.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!

ඇය ද මිනුවන්ගොඩ ඇඟලුම් ආයතනයේ සේවිකාවක වන අතර මොණරාගල, මැදගම ප්‍රදේශයේ පදිංචිකාරියකි. ඇයගේ නිවසේ සාමාජිකයන් ද නිවස තුළ ම නිරෝධායනයට ලක් කර ඇත.

මේ වන විට ඇය මොණරාගල දිස්ත්‍රික් මහ රෝහලට ඇතුළත් කර තිබේ. ප්‍රදේශය භාර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයා සඳහන් කළේ, ඇය අංගොඩ අයි.ඩී.එච්. රෝහල වෙත යැවීමට කටයුතු කරන බවය.

එම සේවිකාව මොණරාගල බස්නැවතුම්පොළ, කච්චේරිය හන්දිය ඉරිදා පොළ සහ රජයේ බැංකුවක් ඇතුළු ස්ථාන කිහිපයකට ගොස් ඇති බව අනාවරණය වී ඇති බව මොණරාගල පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා සඳහන් කළේය.

ඒ අනුව, එම ස්ථානවල සිටි පුද්ගලයන් ද මේ වන විට ඔවුන්ගේ නිවෙස්වල නිරෝධායනයට ලක් කර තිබේ.

එසේ ම, මේ පිළිබඳව ශබ්ද විකාශන යන්ත්‍ර මගින් ප්‍රදේශයේ ජනතාව දැනුවත් කරන බව ද ඒ මහතා සඳහන් කළේය.

මේ අතර කොරෝනා ආසාදනය මිනුවන්ගොඩ ඇඟලුම් ආයතනයේ තවත් සේවිකාවන් දෙදෙනෙක් කුරුණෑගල ශික්ෂණ රෝහලේ සිට අංගොඩ අයි.ඩී.එච්. රෝහල වෙත යවා තිබේ.

ඒ අනුව, මේ වන විට මිනුවන්ගොඩ ඇඟලුම් ආයතනය ආශ්‍රිතව කොරෝනා ආසාදිත පුද්ගලයන් 74 දෙනෙකු වාර්තා වී තිබේ.

mawbima