පවුල් ආරවුලෙන් එලොව ගිය දරුවන් තිදෙනා

මව්පියන් විසින් සිදුකරන විවිධ ක්‍රියා තුළින් දරුවන්ට සිය ජීවිතවලින් පවා වන්දි ගෙවීමට සිදු වූ පුවත් කිහිපයක්ම පසුගිය දිනවලදී වාර්තා වුණා.

එවැනිම තවත් අවාසනාවන්ත පුවතක් වාර්තාවන්නේ කිලිනොච්චිය ප්‍රදේශයෙන්.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!

ඒ, මවක් සිය දරුවන් තිදෙනා සමග සිය දිවි හානි කරගැනීමට උත්සාහ කර දරුවන් තිදෙනාට දිවි අහිමිවූ පුවතක්.

කිලිනොච්චි, වට්ටකච්චි ප්‍රදේශයේ කාන්තාවක් සිය දරුවන් තිදෙනා සමඟ ඉරණමඩු, පිල්ලෙයාර් කෝවිල අසල ළිඳට පැන තිබුණේ ඊයේ පස්වරුවේදී.

සිය සැමියා සමග සිදු වූ ආරවුලක් දුරදිග යාමෙන් මෙම තීරණය ගෙන ඇති බවයි ප්‍රදේශවාසීන් පොලිසියට පවසා ඇත්තේ.

වයස අවුරුදු 2,5 සහ 8 යන වයස්වල පසුවන දරුවන් තිදෙනාගෙන් අවුරුදු දෙකක දරුවාගේ මළසිරුර මේ ඊයේ රාත්‍රියේ පොලිසිය සොයාගත්තා.

නාවික හමුදා කිමිදුම්කරුවන් එක්ව අනෙක් දරුවන් දෙදෙනා සොයා අද පෙරවරුවේ සෝදිසි මෙහෙයුම් ආරම්භ කළ අතර, ඔවුන් දෙදෙනාගෙද මළ සිරුරුද අද පෙරවරුවේ සොයා ගැනීමට හැකිවුණා.

සිය දරුවන් සමඟ ළිඳට පනින ලද මව ප්‍රදේශවාසීන් පොලිසිය හා එක්ව බේරාගෙන තිබෙනවා.

අනතුරුව ඇයව පොලිස් අත්අඩංගුවට ගෙන ඇති අතර, මේ වන විට ඇය ප්‍රතිකාර ලබන්නේ කිලිනොච්චි දිස්ත්‍රික් මහ රෝහලේයි.