ප්‍රසූත නිවාඩු කප්පාදුවට එරෙහිව ඒකාබද්ධ සංවර්ධන නිලධාරීන්ගේ විරෝධය
රාජ්‍ය සේවයට අභ්‍යාසලාභීන් ලෙස පසුගියදා බඳවා ගැණුනු උපාධිධාරිනියන් සඳහා ලබාදෙන ප්‍රසූත නිවාඩු කප්පාදු කරඇති බව ඒකාබද්ධ සංවර්ධන නිලධාරී මධ්‍යස්ථානය පවසයි.
එලෙස අභ්‍යාසලාභීන් ලෙස 2020 සැප්තැම්බර 2 වැනිදා 50,177ක් ද පෙබරවාරි 1 වන දින 8,076ක් ද බඳවා ගන්නා ලදි.
ඉන් පළමු කණ්ඩායමේ බඳවාගත් උපාධිධාරීන් අතරින් 38,760ක් උපාධිධාරිනියන් බවද ඒකාබද්ධ සංවර්ධන නිලධාරී මධ්‍යස්ථානය පෙන්වා දෙයි.
මෙසේ බඳවාගත් උපාධිධාරිනියන්ට ලබාදෙන ප්‍රසූත නිවාඩු සති 6ක් බවද සඳහන් කරයි.
සාමාන්‍යයෙන් රාජ්‍ය හා පෞද්ගලික දෙඅංශයේම ප්‍රසූත නිවාඩු වැඩකරන දින 84 අනිවාර්යයෙන් මෙතෙක් ලබාදෙන බවද, විශේෂයෙන් 2018 සහ 2019 බඳවාගත් අභ්‍යාසලාභී උපාධිධාරිනියන්ට ද දින 84ක ප්‍රසූත නිවාඩු කාලය හිමිවූ බවද ඔවුන් පවසයි.
මාස 6 අනිවාර්යයෙන් මව්කිරි දීමට වෛද්‍යවරු පවා නිර්දේශ කර තිබියදී ආණ්ඩුව මෙසේ අත්තනෝමතික ලෙස නිවාඩු කප්පාදු කර ඇති බව එම මධ්‍යස්ථානය චෝදනා කරයි.
ඒ සම්බන්ධයෙන් මේ වනවිට විවිධ ක්‍රියාමාර්ග ගෙන තිබුණද මාස 3ක් ගතවී ඇතත් තීරණය නිවරැදි කිරීමට කිසිවක් සිදුවී නොමැති බවද ඒකාබද්ධ සංවර්ධන නිලධාරී මධ්‍යස්ථානය පෙන්වා දෙයි.
සංවර්ධන නිලධාරී මධ්‍යස්ථානය වැඩිදුරටත් පෙන්වා දෙන්නේ, දින 84 ප්‍රසූත නිවාඩු ලබාදීමට අදාළ කැබිනට් සංදේශය කඩිනමින් සකස් කර ඉදිරිපත් කරන ලෙස 2020 දෙසැම්බර් 24 දින රාජ්‍ය සේවා පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකොන් විසින් අමාත්‍යාංශ ලේකම් වෙත් ලිපියක් මගින් දන්වා ඇතත් ඇමතිවරයාගේ නියෝගය නොපිළිගනිමින් ලේකම්වරයා කටයුතු කරමින් ඇති බවය.
මේ අතර මේ සම්බන්ධව මානව හිමිකම් කොමිසමට කළ පැමිණිල්ලට අදාළ පරීක්ෂණ කටයුතු මාර්තු මස 12වනදා සිදුවන බවට සිය සංවිධානයට ලිඛිතව දැනුම්දීමක් කර ඇති බවද ඒකාබද්ධ සංවර්ධන නිලධාරී මධ්‍යස්ථානය සඳහන් කරයි.