මෙරට කොරෝනා ආසාදිතයින් වාර්තා වී අදට වසරයි

මෙරට පළමු කොරෝනා ආසාදිතයා වාර්තා වී අදට වසරක් ගත වනවා.

එලෙස ආසාදිත බවට හඳුනා ගැනුණේ සංචාරක මඟ පෙන්වන්නෙකු වූ මත්තේගොඩ ප්‍රදේශයේ පදිංචි ජයන්ත රණසිංහයි.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!

පසුගිය වසරේ මාර්තු මස 4 වන දා ඔහුට කොවිඩ් රෝග ලක්ෂණ මතුව තිබූ අතර පසුව ඔහු ආසාදිතයෙකු ලෙස හඳුනා ගැනුණේ පසුගිය වසරේ මාර්තු 11 වන දායි.

මේ අතර, ලෝක සෞඛ්‍ය සංවිධානය කොරෝනා වසංගතයක් ලෙස ප්‍රකාශයට පත් කර අදට වසරක් සම්පූර්ණ වනවා.

ලෝක සෞඛ්‍ය සංවිධානය මෙය වසංගතයක් ලෙස නම් කරනු ලැබුවේ ආසාදිතයින් එක් ලක්ෂ 21 දහස් 500ක් වාර්තා වී මෙන් පසුවයි.

මේ වනවිට ලොවපුරා ආසාදිතයින් එකොලොස් කෝටි 86 ලක්ෂ 38,190ක් වාර්තා වී ඇති අතර මරණ සංඛ්‍යාව දැක්වෙන්නේ 26 ලක්ෂ 32,074ක්.

එමෙන්ම, ඊයේ වාර්තා වූ ආසාදිතයින් 340 දෙනා අතරින් වැඩිම ආසාදිතයින් පිරිස හඳුනාගෙන ඇත්තේ ගම්පහ දිස්ත්‍රික්කයෙන්.

ඒ, ආසාදිතයින් 62ක් ලෙසයි.

ඊට අමතරව යාපනයෙන් ආසාදිතයින් 39 දෙනෙකු සහ කොළඹින් ආසාදිතයින් 34 දෙනෙකු වාර්තා වී තිබෙනවා.

කොරෝනා ආසාදිතයින් වාර්තා වීම ඉහළ යාමත් සමඟ ගාල්ල – උඩුගම ඩිපෝව  තාවකාලිකව වසා දමා තිබෙනවා.

ඊයේ උඩුගම ඩිපෝවෙන් නව කොරෝනා ආසාදිතයින් 5 දෙනෙකු වාර්තාවීමත් සමඟ ඉන් හදුනා ගත් මුළු රෝගීන් සංඛ්‍යාව 17ක්.

එමෙන්ම, මන්නාරම ප්‍රධාන මාළු වෙළඳපොළ ආශ්‍රිතව ද වාර්තා වන කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 305 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

මන්නාරම ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ආර්. විනෝදන් ප්‍රකාශ කළේ පසුගිය දින දෙකේ දී එම මාළු වෙළදපොළෙන් කොරෝනා ආසාදිතයින් 8 දෙනෙකු සහ ආශ්‍රිතයින් 5 දෙනෙකු වාර්තා වූ බවයි.

මේ අතර, කොග්ගල නිදහස් වෙළද කලාපයේ කොරෝනා ආසාදිතයින් 192ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.