චෝකාගේ ගෝලයත් ප්‍රාදේශීය සභා රැස්වීමට යන්න අවසර ඉල්ලයි …ප්‍රතිපාදන නෑ ..නීතිපති උපදෙස් අවශ්‍යයි..-බන්ධනාගාර කොමසාරිස්
තමාව ප්‍රාදේශීය සභාවේ රැස්වීම්වලට සහභාගි කරවන ලෙසට මරණ දඬුවම නියම වී සිටින කහවත්ත ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති මානික්කවඩුගේ වජිර දර්ශන ද සිල්වා කර ඇති ඉල්ලීම පිළිබඳව අවශ්‍ය නීති උපදෙස් ලබාදෙන ලෙස ඉල්ලා බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය විසින් ලිපියක් යොමුකර තිබෙනවා.
ඒ බන්ධනාගාර ප්‍රතිසංස්කරණ හා සිරකරුවන් පුනරුත්ථාපනය කිරීමේ රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා වෙතයි.
අදාළ ලිපිය මගින් බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා ඉල්ලා සිටින්නේ රත්නපුර මහාධිකරණය මගින් මරණ දඬුවම ලබාදුන් වජිර දර්ශන ද සිල්වා නමැත්තා ප්‍රාදේශිය සභා සැසිවාර සඳහා සහභාගි කරවීම පිළිබඳව බන්ධනාගාර පනතේ නීති රෙගුලාසි නොමැති බවයි.
ඒ හේතුවෙන් අදාළ ඉල්ලීම පිළිබඳව කඩිනමින් අවශ්‍ය නීති උපදෙස් ලබාදෙන ලෙසයි සිය ලිපිය මගින් බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා ඉල්ලා සිටින්නේ.
2015 වසරේ පැවති ජනාධිපතිවරණයේදී එවකට පොදු අපේක්ෂකවරයා ලෙස ඉදිරිපත් වූ මෛත්‍රීපාල සිරිසේනට ආධාර ලෙස කහවත්ත නගරයේ සැරසිලි කරමින් සිටි පිරිසකට වෙඩි තබා දෙදෙනෙකු ඝාතනය කිරීමේ සිද්ධියට අදාළව පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමලාල් ජයසේකර, කහවත්ත ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති වජිර දර්ශන ද සිල්වා ඇතුළු විත්තිකරුවන් පිරිසකට රත්නපුර පළාත්බද මහාධිකරණය මරණ දඬුවම නියම කළා.
මෙම තීන්දුවත් සමඟ පසුගිය පාර්ලිමේන්තුවට තේරී පත්වූ ප්‍රේමලාල් ජයසේකර අභියාචනාධිකරණය හමුවේ ගොනුකළ පෙත්සමට අනුව ඔහුට පාර්ලිමේන්තු සභා වාරයට සහභාගිවීම සඳහා අවසර ලබාදෙන ලෙස අභියාචනාධිකරණය බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා වෙත අතුරු නියෝගයක් නිකුත් කළා.
කෙසේ වෙතත් මරණ දඬුවම නියමවී සිටින වජිර දර්ශන ද සිල්වා නැමැත්තා තීන්දුවට එරෙහිව අභියාචනාධිකරණයේ ඇපෑලක් ගොනුකර ඇති බැවින් මේ වනවිට වැලිකඩ බන්ධනාගාරයේ අභියාචනා සිරකරුවෙකු ලෙසයි රඳවා සිටින්නේ.