බර්ජ් කලීෆා තුළ රඟ පාන පළමු ඉන්දියන් නළුවා ෂාරුක්

බර්ජ් කලීෆා යනු ඩුබායි හි පිහිටි ලෝකයේ උසම කුළුණය. මෙහි රූගත කෙරෙන පළමු ඉන්දියානු චිත්‍රපටිය ලෙසින් වාර්තාවක් තබන්නට ෂාරුක් ඛාන් රඟ පාන පතාන් චිත්‍රපටිය සූදානමින් සිටියි.  මේ වන තුරු බර්ජ් කලීෆා තුළ රූගත කිරීම් කර ඇත්තේ ටොම් කෲසේ ගේ මිෂන් ඉම්පොසිබල් සහ ෆාස්ට් ඇන්ඞ් ෆියුරියස් 7 යන හොලිවුඞ් චිත්‍රපටි දෙක පමණකි.

ඩුබායි හි රූගත කෙරෙන කවර හෝ චිත්‍රපටියක බර්ජ් කලීෆා නොපෙනුණොත් එය අඩුවකි. ආක්ෂේ කුමාර් සහ කියාරා අද්වානි රඟ පෑ ලක්ෂ්මී චිත්‍රපටියේ ගීතයක පසුබිමට ද බර්ජ් කලීෆා යොදාගෙන තිබේ.  එහෙත් එය ඇතුළත කෙරෙන පළමු ක්‍රියාදාම චිත්‍රපටිය පතාන්ය. ටොම් කෲසේ මෙන්ම ෂාරුක් ද එහි සටන් කරනු දකින්නට ලැබෙනු ඇතැයි චිත්‍රපටියේ නිෂ්පාදකයෝ කියති. කාරයක්, යතුරු පැදියක්, තුවක්කු, පිපිරීම් මෙන්ම මුහුණට මුහුණ කරන සටන් ද මෙහි ඇති බවට ඔවුහු ඉඟි කරති. ඉන් පතාන් චිත්‍රපටියට අන්තර්ජාතික මුහුණුවරක් ලැබෙනු ඇතැයි ඔවුහු විශ්වාස කරති.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!

ෂාරුක් සමඟ දීපිකා පදුකෝන්, ජෝන් ඒබ්‍රහම් ඇතුළු පිරිසක් මෙහි චරිත නිරූපණය කරන්නේය. යාෂ්රාජ් චිත්‍රපටි සමාගම නිෂ්පාදනය කරන මෙය අධ්‍යක්ෂණය කරනු ලබන්නේ සිද්ධාර්ත් ආනන්ද් විසිනි.

ෂාරුක් මින් පෙර ද මෙලෙස පළමු රඟපෑම් වාර්තා තුනක් තබා තිබේ. නාසා ආයතනය තුළ පළමුවෙන්ම රඟ පෑවේ ෂාරුක්ය. එමෙන්ම ඩිස්කවරි මූලස්ථානය තුළ හා මැඩම් ටුසාඞ් කෞතුකාගාරයේ චිත්‍රපටි රූගත කිරීම්වලට සහභාගි වූ පළමු ඉන්දියානු නළුවා වන්නේත් ෂාරුක් ඛාන්මය.

පතාන් චිත්‍රපටිය සඳහා වෙන් කර ඇති මුදල කෝටි 200 කි. එය මෙතෙක් ක්‍රියාදාම චිත්‍රපටියක් නිෂ්පාදනය කිරීම සඳහා වැය වන වැඩිම මුදල බව විචාරකයෝ කියති. මෙහි රඟ පෑම සඳහා දීපිකා අය කරන මුදල රුපියල් කෝටි 15කි. ජෝන් ඒබ්‍රහම් කෝටි 20ක් අය කරන්නේය. එහෙත් ෂාරුක් කොපමණ මුදලක් අය කරන්නේදැයි සඳහනක් නොවිණි.

“යාෂ්රාජ් චිත්‍රපටි ආයතනය සහ ෂාරුක් ඛාන් අතරේ නිල නොවෙන නීතියක් තියෙනවා.. ඒ ආයතනයේ චිත්‍රපටියකට ගිවිසුම් අත්සන් කරද්දී ෂාරුක් කවදාවත් මුදල් ගැන කතා කරන්නෙ නෑ.. ඒත් ඒ චිත්‍රපටියෙන් ලැබෙන ලාබයෙන් සීයට හතලිස් පහක් ෂාරුක්ට.. පතන් චිත්‍රපටියේදීත් ඒ සම්ප්‍රදාය එහෙමම ක්‍රියාත්මක වෙයි කියලා විශ්වාසයි.. ඒ කියන්නෙ කෝටි සීයක් ලාබ ලැබුවොත් කෝටි 45ක් ෂාරුක්ට.. ලාබෙ වැඩි වෙන්න වෙන්න ෂාරුක්ට ලැබෙන මුදල් ප්‍රමාණයත් වැඩි වෙනවා..”
එසේ පැවසුවේ නිෂ්පාදන කණ්ඩායමේ ප්‍රකාශකයෙකි.

කවුරුන් විසින් සම්පාදනය කරනු ලැබුවත් එය නම් අපූරු නීතියක් බැව් නොකිවමනාය.