හැරී කුමරුගේ බිරිඳ මේගන් මාකල්ගේ ආන්දෝලනාත්මක ප්‍රකාශය නිසා බ්‍රිතාන්‍ය රජ මාලිගය දෙදරයි

බ්‍රිතාන්‍යය රජ පවුල සමඟ තමා ගත කළේ ඉතා අමිහිරි වකවානුවක් බවට හැරී කුමරුගේ  බිරිඳ මේගන් මාකල් කර ඇති ප්‍රකාශය සම්බන්ධයෙන් බකිංහැම් මාළිගාවේ ද අවධානය යොමුවී තිබෙනවා.

සුප්‍රකට ඔප්රා වින්ෆ්‍රේ සමඟ සාකච්ඡාවකට එක්වෙමින් මේගන් මාකල් කියා සිටියේ තම පුතුට උරුම විය හැකි අඳුරු පැහැ සම ගැන සිතා ඔහුට හිමිවිය යුතු කුමාර තනතුර පවා අහිමි කිරීමට බ්‍රිතාන්‍යය රාජකීයන් කටයුතු කළ බවයි.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!

අමෙරිකාවේ සී.බී.එස්. රූපවාහිනී නාළිකාවේ ඔප්රා වින්ෆ්‍රේ සමඟ පැවති මෙම සම්මුඛ සාකච්ඡාවේදී හැරී කුමරුගේ බිරිඳ මේගන් මාකල් බ්‍රිතාන්‍යය රාජකීයන් සමඟ තමන්ට මුහුණදීමට සිදුවූ කටුක අහිමිරි අත්දැකීම් සම්බන්ධයෙන් ආන්දෝලාත්මක අනාවරණ රැසක් සිදුකළා.

හැරී – මේගන් යුවළගේ අනාවරණ සම්බන්ධයෙන් බකිම්හැම් මාළිගය මාධ්‍ය නිවේදනයක් නිකුත් කිරීමට  නියමිතව තිබුණත් දෙවන එළිසබෙත් මහරැජිණ ඊට අනුමැතිය ලබා දී නැතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළා.

2018 වසරේදී විවාහ වූ හැරී කුමරු සහ මේගන් මාකල්ගේ කුළුඳුල් දරුවා වන ආචි හැරිසන් 2019 වසරේදී මෙලොව එළිය දුටු අතර, මේ වනවිට මේගන් මාකල් දෙවන වරටත් ගර්භනී තත්ත්වයේ පසුවනවා.
2020 වසරේ ජනවාරි මාසයේදී  හැරී – මේගන් යුවළ රාජකීය නම්බුනාම සහ සියලු වගකීම්වලට සමුදෙමින් කැනඩාව බලා පිටත්ව ගියේ ආර්ථික වශයෙන් ස්වාධීන වීමට අවශ්‍ය බවට ප්‍රකාශ කරමින්.

මේ වනවිට ඔවුන් දිවි ගෙවන්නේ අමෙරිකාවේ කැලිෆෝනියා නුවරයි.

තම මව වන ඩයනා කුමරියට මුහුණදීමට සිදුවූ අමිහිරි අත්දැකීම්වලට තම බිරිඳ ද මුහුණදීම වැළැක්වීම සඳහා  මෙම තීරණය ගත් බවයි හැරී කුමරු ප්‍රකාශ කළේ.

ඩයනා කුමරි ද 1995 වසරේ  පැවති රූපවාහිනී වැඩසටහනකදී තමන් රජ පවුල තුළ කෙතරම් කලකිරීමෙන් ජීවත් වූයේ ද යන්න මෙලෙස අනාවරණ කර තිබුණා.

ඩයනා කුමරිය හදිසි රිය අනතුරකින් මිය යන්නේ මෙම ආන්දෝලනාත්මක ප්‍රකාශයෙන් දෙවසරකට පසුවයි.