පූජා බත්‍රාගේ නීරෝගී බවේ රහස

“ඔබ අනික් අයට හදවතින්ම ආදරේ කරනවා නම්, අනිත් අයගේ හොඳ විතරක් දකිනවා නම් ඔබේ හිතේ ඇති වෙන්නෙ හොඳ සිතුවිලි විතරයි.. ඒකෙන් කය, මනස දෙකම නීරෝගී වෙනවා..”
එසේ කියන්නේ පූජා බත්‍රාය. ඇය යෝග ව්‍යායාමවල නියැලෙන වීඩියෝවක් පසුගිය දා අන්තර්ජාලය පුරා සංසරණය වූයේය. නීරෝගී බව පවත්වාගෙන යාමට හොඳම ඔසුව යෝග ව්‍යායාම බැව් ඇය කියන්නීය.
අවුරුදු 45ක් වුවත් පූජා බත්‍රා බොලිවුඩයට පිවිසි මුල් කාලයේ මෙන්ම දැනුත් සුන්දරය. ඇගේ සිරුරේ හැඩය කිසිම ආකාරයකින් වෙනස් වී නැත.

ඇය පාසැල් වියේදී ඉගෙනිමට මෙන්ම මලල ක්‍රීඩාවලටත් දක්ෂකම් දැක්වූවාය. ඇය නිරූපිකාවක වූයේ කුඩා කලදීමය. එහෙත් ඇය එය සිය අධ්‍යාපනයට බාධාවක් කර ගත්තේ නැත.  1993 දී ෆෙමිනා ඉන්දියා අන්තර්ජාතික රූ රැජින ලෙස කිරුළ පැළඳියාට පසුව ඇය වෙත චිත්‍රපටි නිර්මාණකරුවන්ගේ අවධානය යොමු වුවත් අධ්‍යාපනය සම්පූර්ණ කර ගන්නා තුරු ඇය එම ක්ෂේත්‍රයෙන් ඈත්ව සිටියාය. ඇය නිරූපණ ක්ෂේත්‍රයේ නම් දිගටම රැඳී සිටියාය. ඇය බොහෝ වෙළෙඳ දැන්වීම්වල පෙනී සිටි අතර ඒවා අතරින් වඩාත් ජනප්‍රිය වුයේ ලිරිල් සබන් දැන්වීමය. ඉන්දියාවේ මුල් පෙළේ නිරූපිකාවක වූ ඇය විලාසිතා දැක්මවල් 250කට වැඩි ප්‍රමාණයකට සහභාගි වී ඇත.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!

1997 දී ඇය විරාසත් චිත්‍රපටියේ රඟ පාමින් සිනමාවට එක් වුවාය. එහි ඇගේ සහාය නළුවා වූයේ අනිල් කපූර්ය. ඉන් පසුව භායි, හසීනා මාන් ජායෙංගී, දිල්නේ ෆිර් යාද් ක්‍යා, ටාජ්මහල් ඇතුළු චිත්‍රපටි 20 ක පමණ රඟ පෑවාය. මලයාලම් චිත්‍රපටි තුනක,  දෙමළ චිත්‍රපටි දෙකක ද ඇය රඟ පා තිබේ.
පූජා විවාහ වී සිටියේ ලොස් ඇන්ජලීස් හි විකලාංග වෛද්‍ය විශේෂඥයෙකු වූ සෝනු අහ්ලුවාලියා සමඟය. 2002 ඇරඹුණ ඔවුන්ගේ යුග දිවිය 2011 දී අවසන් වූයේය. 2019 දී ඇය නළුවෙකු වන නවාබ් ෂා සමඟ නැවත විවාහ වූවාය.