රිෂාඩ් ගැන ආරක්ෂක ලේකම් කී කතාව විකෘති කරලාලු

සමස්ත ලංකා මහජන කොන්ග්‍රස් නායක රිෂාඩ් බදියුද්දීන් වර්ණනා කළ බවට පුද්ගලික නාලිකාවක් සහ සමාජ ජාලා ඔස්සේ කර ඇති විකාශය විකෘති කිරීමක් බවට චෝදනා කරන ආරක්ෂක ලේකම්වරයා, ඒ සම්බන්ධයෙන් නීතිමය පියවර ගැනීමට ඉතා කඩිනමින් ක්‍රියාකරන බවට අනතුරු අඟවා තිබේ.

ආරක්ෂක ලේකම් (විශ්‍රාමික) මේජර් ජෙනරල් කමල් ගුණරත්න ඒ බව පවසා ඇත්තේ ඔක්තෝබර් 5 අඟහරුවාදා ආරක්ෂක අමාත්‍යාංශයේදී පැවති මාධ්‍ය සාකච්ඡාවේදීය.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!

අභ්‍යන්තර ආරක්‍ෂක, ස්වදේශ කටයුතු සහ ආපදා කලමනාකරණ අමාත්‍යාංශ ලේකම්වරයා වශයෙන් විෂය භාර අමාත්‍ය චමල් රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් ඔක්තෝබර් පළමු වැනි දින පැවති, වව්නියාව දිසාපති කාර්යාලයේ අභිනවයෙන් ඉදිකරන ලද ශ්‍රවණාගාරය විවෘත කිරීමේ උත්සවය සඳහා සහභාගි වු අතර ඒ සඳහා ආණ්ඩු පක්ෂ මෙන්ම විපක්ෂය නියෝජනය කරමින් මහජන නියෝජිතයන් රැසක් මෙන්ම ශ්‍රී ලංකා පරිපාලන සේවයට අයත් ජ්‍යෙෂ්ඨ හා කණිෂ්ඨ නිලධාරීන් රැසක් සහභාගිවී සිටි බව පවසන මේජර් ජෙනරල් කමල් ගුණරත්න පෙන්වා දෙන්නේ ඒ අතර පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුද්දීන් ද වු බවයි.

එහිදී අමාත්‍යාංශ ලේකම්වරයා වශයෙන් තමන් එම උත්සවය අමතා සිදු කරන ලද කතාවෙහි ඇතැම් කොටස් විකෘතිකර පුද්ගලික මාධ්‍ය ජාලා සහ සමාජ මාධ්‍ය ජාලා මගින් පුළුල් ප්‍රචාරයක් ලබාදීම තුලින් වගකිව යුතු රාජ්‍ය නිලධාරියකු ලෙස තමාගේ ප්‍රතිරූපයද සමස්තයක් වශයෙන් රජය කෙරෙහිද ජනතා අප්‍රසාදය ඇතිකිරීමේ අසාර්ථක ක්‍රියාවලියක් ආරම්භ කර ඇති බව ඔහු වැඩි දුරටත් චෝදනා කරයි.

 

“එහිදී පුද්ගලික මාධ්‍ය ජාලා කිහිපයක් හා සමාජ මාධ්‍ය ජාලා මගින් වාර්තා කර ඇති අන්දමට මා විසින් සිදුකරන ලද කථාව අතරතුරදී පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුද්දීන් මහතා වෙනුවෙන් පෙනී සිටිමින් ඔහු සඳහා ගුණවැයීමක් සිදුනොකල අතර, විනය ගරුක රාජ්‍ය නිලධාරියකු ලෙස කිසිදු දේශපාලනඥයකුගේ පුද්ගලික අවශ්‍යතාවයන් වෙනුවෙන් පෙනී සිටිමේ අවශ්‍යතාවයක් නොමැති බව ජනතා සේවයට කැපවුන රාජ්‍ය නිලධාරියෙක් වශයෙන් මා ප්‍රකාශ කර සිටිමි.”

චෝදනාවට ලක්වී තිබෙන වීඩියෝ දර්ශනය ප්‍රචාරය වීමෙන් අනතුරුව ආරක්ෂක ලේකම්වරයා සිංහල ජාතීන් විසින් සමාජ මාධ්‍ය ඔස්සේ හෙලා දකිනු පෙනෙන්නට තිබුණි.

ආරක්ෂක අමාත්‍යාංශය විසින් නිකුත් කර තිබෙන මාධ්‍ය නිවේදනයක දැක්වෙන පරිදි ආරක්ෂක ලේකම්වරයා විසින් සිදුකළ සම්පූර්ණ කථාවට අනුව ඔහු සිදු කර ඇත්තේ එම උත්සව සභාවෙහි ආරාධිතයකු වු වර්තමාන උතුරු පළාත් ආණ්ඩුකාර පි.එස්.එම් චාල්ස් වව්නියාව දිසාපති වශයෙන් රාජකාරි කරන සමයෙහි, පුනරුත්ථාපන කටයුතු පිලිබඳ නිසි බලධාරියා වූ ඔහුට ඇය විසින් දෙන ලද සහාය පිළිබද ඇගයීමකි.