එන්නත්කරණය නතර නොකරන්නැයි ලෝක සෞඛ්‍ය සංවිධානය ඉල්ලයි
කොරෝනා වෛරසයට එරෙහි එන්නත්කරණය නතර නොකරන්නැයි ලෝක සෞඛ්‍ය සංවිධානය සියළු රටවලින් ඉල්ලීමක් කළා.
ඒ, ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා එන්නත භාවිත කිරීම ඇතැම් යුරෝපීය රටවල් අත්හිටුවීමත් සමඟයි.
රුධිරය වහනය වීම, ලේ කැටි ඇතිවීම සහ රුධිරාණු සංඛ්‍යාව අඩුවීම වැනි සිද්ධීන් එන්නත ලබාදීමෙන් පසු ඇති වූ බවට වාර්තා වීමත් සමඟයි ඔවුන් එම පියවර ගෙන ඇත්තේ.
ලෝක සෞඛ්‍ය සංවිධානයේ උපදේශක මණ්ඩලය මගින් එන්නත පිළිබදව ඇගයීමක් සිදුකරන අතර එහි ප්‍රතිඵල කඩිනමින් ප්‍රකාශයට පත් කරන බව සදහන් කළා.
කෙසේ නමුත්, ඔක්ස්ෆර්ඩ් එන්නතෙහි පොදු භාවිතයට ලබාදී ඇති අවසරය එමගින් වෙනස් නොවනු ඇතැයි සදහන්.
යුරෝපයේ විශාලතම සහ ජනගහනය අධික රටවල් 3ක් වන ජර්මනිය, ඉතාලිය සහ ප්‍රංශය ද ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා එන්නත භාවිතය අත්හිටුවන බව දැන් ප්‍රකාශ කරනවා.
කෙසේ නමුත් එම පියවර තුළින් රටවල් 27කින් සමන්විත යුරෝපා සංගමයේ එන්නත්කරණ වැඩසටහන අඩාල කිරීමේ හැකියාවක් පවතින බවයි වෛද්‍ය විශේෂඥයින් පෙන්වා දෙන්නේ.
යුරෝපීය රටවල් මෙලෙස ඔක්ස්ෆර්ඩ් එන්නත කෙරෙහි වැඩි පූර්ව අවධානයක් යොමු කිරීම ඇතැමුන්ගේ මවිතයට හේතු වී තිබෙනවා.
යුරෝපයේ ලේ කැටි කිරීමේ සිද්ධීන් 37ක් වාර්තා වී ඇත්තේ මිලියන 17ක් ජනතාවට එම එන්නත ලබාදීමෙන් අනතුරුවයි.
එමෙන්ම, ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥවරිය සෞම්‍යා ස්වාමිනාදන් ප්‍රකාශ කළේ වාර්තා වී ඇති සිද්ධීන් සහ කොරෝනා එන්නත්කරණය අතර සම්බන්ධතාවක් මෙතෙක් තහවුරු වී නොමැති බවයි.
පසුගිය මාසයේදී ලෝක සෞඛ්‍ය සංවිධානය ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා එන්නත අනුමත කළ අතර මේ වන විට ලොව රටවල් රැසක් එන්නත භාවිත කරනු ලබනවා.
ඉන්දියාව විසින් ද මේ සතියේ ඒ පිළිබද යළි ඇගයීමේ අධ්‍යනයක් සිදුකිරීමට නියමිතයි.
එන්නත පිළිබදව පළ වී ඇති අවිනිශ්චිතභාවය සම්බන්ධයෙන් අද දිනයේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ උපදේශක කමිටුව රැස්වී සාකච්ඡා කරන බව එහි ප්‍රධානී ටෙඩ්රොස් ඇඩනම් ගෙබි්රයේසස් ප්‍රකාශ කළා.