සිරසට එරෙහිව ස්ථිර අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන්නේද? නැද්ද?

ජෝර්ජ් ස්ටුවර්ට් හෙල්ත් සමාගම සහ එහි සභාපතිවරයාට අපහාසාත්මක වන පුවත් විකාශය කිරීම වළක්වාලමින් එම්.ටී.වී චැනල්  පුද්ගලික සමාගම වෙත පණවා ඇති වාරණ නියෝගය මැයි මස 07 වනදා දක්වා තවදුරටත් දීර්ඝ කරන ලෙස කොළඹ දිසා විනිසුරු අරුණ අලුත්ගේ මහතා  නියෝගකර තිබේ.

එම නඩුව අද (17) කැඳවනු ලැබූ අවස්ථාවේදී ඊට අදාළ ස්ථිර අතුරු තහනම් නියෝගය නිකුත් කරන ලෙස කරඇති ඉල්ලීමට අදාළව දෙපාර්ශ්වයේ නීතිඥවරුන් විසින් අධිකරණය හමුවේ ලිඛිත දේශන ගොනු කෙරිණි.

එම ලිඛිත දේශන භාරගත් විනිසුරුවරයා මෙම නඩුවට අදාළ ස්ථිර අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන්නේද? නැද්ද? යන තීන්දුව මැයි මස 07 වනදා ප්‍රකාශයට පත් කරන බව නිවේදනය කළේය.

ඉන් අනතුරුව දැනට නිකුත්කර ඇති වාරණ නියෝගය එදින තෙක් දීර්ඝ කිරීමට ද විනිසුරුවරයා නියම කළේය.

ජෝර්ජ් ස්ටුවර්ට් හෙල්ත් සමාගම සහ එහි සභාපති දිලිත් ජයවීර මහතා විසින් මෙම නඩුව ගොනුකර තිබේ.

පැමිණිලිකරුවන් සඳහන් කර ඇත්තේ කොවිඩ් 19 ආසාදිතයින් හඳුනාගැනීම සඳහා භාවිත කරන “රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ කට්ටල” ආනයනය කිරීම සම්බන්ධයෙන් වගඋත්තරකාර එම්.ටී.වී චැනල් පුද්ගලික සමාගම විසින් සිය ප්‍රවෘත්ති විකාශ ඔස්සේ අසත්‍ය සහ මහජනතාව නොමඟ යන ආකාරයේ ප්‍රවෘත්ති විකාශය කළ බවය.

ඉකුත් නොවැම්බර් මස 11, 13, 16 සහ 19 යන දිනවල නිව්ස් ෆස්ට් ප්‍රවෘත්ති විකාශ ඔස්සේ මෙම රැපිඩ් ඇන්ටිජන්  පරීක්ෂණ කට්ටල ආනයනය කිරීම සම්බන්ධයෙන් ද්වේෂ සහගත අරමුණකින්  වගඋත්තරකාර ආයතනය විසින් අසත්‍ය, ගොතන ලද සහ මහජනතාව නොමඟ යන ආකාරයේ ප්‍රවෘත්ති විකාශය කළ බව පැමිණිලිකරුවෝ කියා සිටිති.

මේ තුළින් සිය  කීර්තියට දැඩි හානියක් සිදු වූ බව ඔවුන් පෙන්වා දෙයි.

ඒ අනුව තම ආයතනයේ කීර්තියට හානි සිදුකළ හැකි  අසත්‍ය සහ ගොතන ලද පුවත් විකාශය කිරීම වළක්වාලීමේ වාරණ නියෝගයක් නිකුත් කරන ලෙසත්, සිය කීර්තියට සිදු වූ හානිය වෙනුවෙන් රුපියල් බිලියන 2ක වන්දියක් අයකර දෙන ලෙසත් ඉල්ලමින් ජෝර්ජ් ස්ටුවර්ට් හෙල්ත් සමාගම සහ එහි සභාපතිවරයා විසින් මෙම පැමිණිල්ල කොළඹ දිසා අධිකරණය හමුවේ ගොනුකර තිබේ.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!