ජනාධිපති කොමිෂන් සභා 3ක කටයුතු ලබන මස ඇරඹේ
නව ජනාධිපති කොමිෂන් සභා 3ක කටයුතු ලබන මාසය වන විට ආරම්භ කිරීමට නියමිත බව වාර්තා වේ.
මානව හිමිකම් උල්ලංඝනය වීම් පිළිබඳ සෙවීමේ ජනාධිපති කොමිසම, රේගු දෙපාර්තමේන්තුවේ වත්මන් තත්ත්වය අධ්‍යයනය කර එහි ඵලදායීතාව ඉහළ නැංවීමේ නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා වන ජනාධිපති කොමිසම සහ දේශපාලන පළිගැනීම් කොමිසමේ නිර්දේශ ක්‍රියාත්මක කිරීමට පත්කළ විශේෂ ජනාධිපති කොමිසමේ කටයුතු එලෙස ආරම්භ වීමට නියමිතව තිබේ.
එම කොමිෂන් සභා සඳහා සාමාජිකයින් පත්කර තිබුණ ද ඒවායේ සාක්ෂි විමසීමේ කටයුතු මෙතෙක් ආරම්භ කර නැත.
කෙසේවෙතත් මානව හිමිකම් උල්ලංඝනය වීම් පිළිබඳ සෙවීමේ ජනාධිපති කොමිසම විසින් පැමිණිලි භාර ගැනීමේ කටයුතු ආරම්භ කර ඇති අතර අප්‍රේල් මස 2 වනදා දක්වා අදාළ පැමිණිලි එම කොමිසම වෙත ඉදිරිපත් කිරීමට අවස්ථාව හිමි වේ.
ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවේ වත්මන් තත්ත්වය අධ්‍යයනය කර එහි ඵලදායීතාව ඉහළ නැංවීමට අවශ්‍ය නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ශිරාන් ඇන්තනී ගුණරත්න මහතාගේ සභාපතීත්වයෙන් යුතු ජනාධිපති කොමිසමක්, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පත්කරනු ලැබීය.
මීට අමතරව දේශපාලන පළිගැනීම් පිළිබද ජනාධිපති කොමිසමේ අවසන් වාර්තාව මගින් දක්වා ඇති නිර්දේශ ක්‍රියාත්මක කිරීම සඳහා විශේෂ ජනාධිපති කොමිෂන් සභාවක් පසුගියදා පත් කෙරුණි.
යහපාලන ආණ්ඩු සමයේ දූෂණ විරෝධී කමිටුවේ සාමාජිකයින් සම්බන්ධයෙන් ඉදිරිපත් කර ඇති නිර්දේශ ක්‍රියාත්මක කිරීම පිළිබඳව එහිදී විශේෂ අවධානයක් යොමු වීමට නියමිතය.
එම කොමිෂන් සභා දෙකෙහි කටයුතු ද ලබන අප්‍රේල් මාසය වන විට ආරම්භ කිරීමට නියමිත බව වාර්තා වේ.