පස්සර මාරක බස් අනතුරෙන් පසු ලුණුගල – පස්සර මාර්ගයේ සිදුවූ වෙනස ….
කාන්තාවන් 9 දෙනෙකු ඇතුළු 14 දෙනෙකුට මරු කැදවමින් ලුණුගල – පස්සර මාර්ගයේ 13 කණුව ප්‍රදේශයේ සිදුවූ රිය අනතුරට අදාළව බස් රථයේ සහ ටිපර් රථයේ රියදුරන් මේ මස 25 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.
ඒ, ඊට අදාළ නඩුව බදුල්ල වැඩබලන මහේස්ත්‍රාත් හමුවේ අද කැදවූ අවස්ථාවේදියී.
බස් රථයේ රියදුරු මේ වන විට බදුල්ල රෝහලේ ප්‍රතිකාර ලබන අතර ටිපර් රථයේ රියදුරු සිද්ධියෙන් අනතුරුව පළා ගොස් සිටියදී අද අත්අඩංගුවට ගැනුණා.
එමෙන්ම, අනතුරට ලක්වූ බස් රථයේ රියදුරු අනතුර සිදුවන අවස්ථාවේදී බීමතින් සිට ඇත්ද යන්න සම්බන්ධයෙන් ද විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.
ඊයේ සිදුවූ මෙම අනතුරින් තුවාලලැබූවන් 30 දෙනකු තවදුරටත් බදුල්ල පළාත්බඳ මහ රෝහලේ ප්‍රතිකාර ලබන බවයි එහි ප්‍රධානී වෛද්‍ය පාලිත රාජපක්ෂ ප්‍රකාශ කළේ.
මොවුන්ගෙන් 05 දෙනෙකු දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බවද ඔහු කියා සිටියා.
අනතුරෙන් මිය ගිය පුද්ගලයන්ගේ දේහ අද නිවෙස්වෙත රැගෙනවිත් තිබුණා.
එමෙන්ම, අනතුරට ලක්වූ බස් රථය එම ස්ථානයෙන් ඉවත් කිරීමටද පියවර ගෙන ඇති බවයි අප වාර්තාකරු කියා සිටියේ.
මේ අතර, බස් අනතුර සිදුවූ ලුණුගල – පස්සර මාර්ගයේ 13 කණුව ප්‍රදේශයෙන් ආරක්ෂක වැටක් ඉදිකිරීමට පියවර ගෙන තිබෙනවා.
මාර්ගය අනතුරුදායක බව දැක්වෙන මාර්ග පුවරුද සවි කිරීමට මාර්ග සංවර්ධන අධිකාරිය පියවර ගෙන ඇති බවයි ප්‍රදේශයේ අප වාර්තාකරු කියා සිටියේ.
මීට අමතරව මාර්ගයේ ගමන් ගන්නා රථ වාහනවල වේගය පාලනය කිරීම සඳහා මාර්ගය හරහා බාධක යෙදීමේ කටයුතු ද ආරම්භ කර තිබෙනවා.
මාරක රිය අනතුර සිදුවූ ස්ථානයේ මාර්ගයට වැටී තිබූ ගල ඉවත් කිරීමට කඩිනමින් පියවර ගන්නා ලෙස ඌව පළාත් ආණ්ඩුකාර ඒ.ජේ.එම්. මුසම්මිල් උපදෙස් ලබාදී ඇති බවයි වාර්තා වන්නේ.
කෙසේ වෙතත්, මාර්ගය අවහිර වන අයුරින් වැටී තිබූ ගල මෙතෙක් ඉවත් කිරීමට පියවර ගෙන නොමැත.
මේ අතර පස්සර මාරක බස් අනතුර සිදුවූ මාර්ගයේ ප්‍රමිතිය පිළිබඳව එල්ලවන චෝදනා විමර්ශනය කිරීම සඳහා ත්‍රිපුද්ගල කමිටුවක් ද පත්කර ඇති අතර ඔවුන් අද දිනයේදී එහි නිරීක්ෂණ චාරිකාවක ද නිරත වුණා.
මහාමාර්ග අමාත්‍යාංශයේ ලේකම් ආර්.ඩබ්ලිව්. පේමසිරිගේ අධීක්ෂණය යටතේ ක්‍රියාත්මක වන මෙම කමිටුවට එම අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරුන් දෙදෙනෙකු සහ මාර්ග සංවර්ධන අධිකාරියේ සභාපතිවරයා ද ඇතුළත්.
එමෙන්ම දිගින් දිගටම සිදුවන බස් රථ අනතුරු සැලකිල්ලට ගෙන බර වාහන රියදුරු බලපත්‍රයක් ලබා ගැනීමෙන් පමණක් ඉදිරියේදී මගී ප්‍රවාහන බස්රථ ධාවන කළ නොහැකි බව රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම ප්‍රකාශ කළා.