ආනයනික පොල් තෙල් තොගයක පිළිකා කාරක අඩංගු බව සෞඛ්‍ය අමාත්‍යාංශය තහවුරු කරයි
ඇෆ්ලටොක්සින් නමැති ප්‍රබල පිළිකා කාරකය අඩංගු බවට සෞඛ්‍ය අමාත්‍යාංශයේ ආහාර ආරක්ෂණ ඒකකය විසින් තහවුරු කළ ආනයනික පොල් තෙල් සහිත බහාලුම් 13ක් වෙළෙඳපොළට නිකුත් වී ඇතැයි සමස්ත ලංකා පාරම්පරික පොල්තෙල් නිෂ්පාදකවරුන්ගේ සංගමය අද (23) හෙළිදරව්වක් සිදුකළේය.
එම තෙල් තොග පරිභෝජනයට නුසුදුසු බැවින් වහාම ප්‍රතිඅපනයනය කරන්නැයි ආහාර ආරක්ෂණ ඒකකය දැනුම් දී තිබියදීත් මෙලෙස වෙළෙඳපොළට නිකුත් වීම සම්බන්ධයෙන් වහාම පරීක්ෂණයක් සිදුකළ යුතු බව ජාතික සංවිධාන එකමුතුව අවධාරණය කරයි.
සමස්ත ලංකා පාරම්පරික පොල්තෙල් නිෂ්පාදකවරුන්ගේ සංගමයේ, ප්‍රධාන කැඳවුම්කරු, බුද්ධික ද සිල්වා මහතා පවසා සිටියේ මෙවන් අදහසකි.
“අද කන්ටේනර් 20 -30කට වැඩි ප්‍රමාණයක් මුදාහැරීමට රේගු අධිකාරියට ලිපි ගොනු භාරනොදී දැන් තියාගෙන ඉන්නවා. ඒකෙන් ඔවුන් බලාපොරොත්තු වෙන්නේ මේ කලබලය නිම වු පසු පස්ස දොරෙන් මේ කන්ටේනර්ස් ටික මුදා හැරීමට. අපි කියන්නේ ඇෆ්ලටොක්සින් තියෙන තෙල් දැනට ආනයනකරුවන් 4දෙනෙකුගේ කන්ටේනර් 13ක් එළියට ගිහින් තියෙනවා. මේවගේ ඇෆ්ලටොක්සින් තියෙනවා ද කියලා කවුද බලන්නේ ? කැවුම්, කොකිස් බදින්න ගේන තෙල්වල මේ මාරකයා ඉන්නවා නේද ? ප්‍රමිති ආයතනය හා සෞඛ්‍ය අමාත්‍යාංශය එක්ව පාරිභෝගික ජනතාවට මේවගේ අඩංගු ද්‍රව්‍ය කුමක් ද යන්න අනිවාර්යයෙන් දැනුම් දිය යුතුයි. “
මේ සම්බන්ධයෙන් “අද දෙරණ“ සෞඛ්‍ය අමාත්‍යාංශයේ ආහාර ආරක්ෂණ ඒකකයෙන් විමසීමක් කළේය.
එහිදී ඔවුන් සඳහන් කළේ මතභේදයට තුඩුදී ඇති එම ආනයනික තෙල් තොග සාම්පල ආශ්රයෙන් සිදුකළ පර්යේෂණවලදී ඇෆ්ලටොක්සින් නමැති ප්‍රබල පිළිකා කාරකය අඩංගුව ඇතැයි තහවුරු වූ බවය.
ඒ අනුව එම තොගයේ කිසිදු තෙල් ප්‍රමාණයක් මහජන පරිභෝජනය සඳහා වෙළෙඳපොළට නිකුත් නොවිය යුතු බැවින් වහාම එම බහාලුම් ප්‍රතිඅපනයනය කරන ලෙස ශ්‍රී ලංකා රේගුව හා අදාළ සමාගාම් වෙත ලිඛිතව දැනුම් දුන් බවද සෞඛ්‍ය අමාත්‍යාංශයේ ආහාර ආරක්ෂණ ඒකකය සඳහන් කළේය.
මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයෙන් අප විමසීමක දී ඔවුන් සඳහන් කර සිටියේ, එම තෙල් සාම්පල පිළිබඳ තම ආයතනයෙන් ද පරීක්ෂා කිරීමක් සිදුකළ ද පිළිකා කාරක අඩංගු යැයි වාර්තා නොවූ බවය.
එම තෙල් සාම්පල පිළිබඳ සිදුකෙරුණු පර්යේෂණයේ වාර්තා යළි විමර්ශනය කරන බව ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ අධ්‍යක්ෂ්‍ය ජනරාල් ආචාර්ය සිද්දිකා සේනාරත්න මහත්මිය “අද දෙරණ“ට සඳහන් කළාය.
කෙසේ වෙතත් එම තෙල් තොගය ප්‍රතිඅපනයනය කළ යුතු බවට සෞඛ්‍ය අමාත්‍යාංශයේ ආහාර ආරක්ෂණ ඒකකය නිර්දේශ කර තිබියදී එය වෙළෙඳපොළට නිකුත් වූයේ කෙසේද යන්න සම්බන්ධයෙන් වහාම රජය පරීක්ෂණයක් සිදුකළ යුතු බව ජාතික සංවිධාන එකමුතුව අද මාධ්‍ය හමුවක් පවත්වමින් අවධාරණය කළේය.
මෙරට වාර්ෂික පොල්තෙල් අවශ්‍යතාව මෙට්‍රික් ටොන් 180,000ක් පමණ වේ.
ඉන් දේශීය පොල් තෙල් නිෂ්පාදකයින් විසින් සපුරනු ලබන්නේ මෙට්‍රික් ටොන් 25,000ක පමණ ප්රමාණයකි.
ඉතිරි මෙට්‍රික් ටොන් 155,000ක තෙල් අවශ්‍යතාව සම්පූර්ණ කෙරෙන්නේ ආනයනකරුවන් විසිනි.
එම ආනයනකරුවන් පිරිපහදු කළ පොල්තෙල් මෙන්ම පාම් ඔයිල් වැනි වෙනත් ආදේශක තෙල් වර්ගද මහා පරිමාණයෙන් ආනයනය කෙරේ.