පොල්තෙල් කිලෝ එක්ලක්ෂ 83,000 ක් ආපසු හරවන්න රේගුවෙන් නියෝග
පිළිකා කාරක රසායනික ද්‍රව්‍ය ඇතුළත් පොල්තෙල් කිලෝග්‍රෑම් එක්ලක්ෂ 83,000 ක් අඩංගු බහාලුම් වහාම ආනයනය කළ රටවලටම ප්‍රතිඅපනයනය කරන ලෙසට රේගුව උපදෙස් ලබාදී තිබෙනවා.
ඒ මෙරටට ආනයන කල පොල්තෙල් තොගයක පිළිකා කාරක රසායනික ද්‍රව්‍ය ඇතුළත් වීම හේතුවෙන් ඒවා ප්‍රතිඅපනයනය කරන ලෙසට සෞඛ්‍ය අමාත්‍යාංශයේ ආහාර ආරක්ෂණ අංශය ලබාදුන් නිර්දේශ මතයි.
ඒ අනුව, පාරිභෝගික සේවා අධිකාරියේ නිලධාරින් සමඟ එක්ව අදාළ පොල්තෙල් අඩංගු බහාලුම් පරීක්ෂා කොට ඒවා ප්‍රතිඅපනයනය කිරීමට උපදෙස් ලබාදී තිබෙනවා.
කෙසේ වෙතත්, අදාළ පොල්තෙල් තොගය රේගුවෙන් මුදා හැර ඒවා ගෙන්වූ සමාගම් සතු ගුදම් වෙත යොමුකළ බව ද තොරතුරු වාර්තා වී තිබෙනවා.
මේ සම්බන්ධයෙන් හිරු ප්රවෘත්ති අංශය රේගු අධ්යක්ෂ ජනරාල් විශ්‍රාමික මේජර් ජෙනරාල් විජිත රවිප්‍රියගෙන් විමසීමක් කළ අතර ඔහු සඳහන් කළේ වරායට ගුදම් ගාස්තු ගෙවීම අධික වන බැවින් ඒවා අදාළ සමාගම්වල ගුදම් වෙත යොමුකළ බවයි.
එහෙත්, එලෙස ගුදම් වෙත යොමුකරන කන්ටේනර් විවෘත කිරීමේ හැකියාව පවතින්නේ රේගු දෙපාර්තමේන්තුවට පමණක් බව ද ඔහු ප්‍රකාශ කළා. එබැවින්, ඒවා වෙළඳපොලට නිකුත් කිරීමේ හැකියාවක් නැහැ.
ආනයනය කළ පොල්තෙල් බහාලුම් 13 ක ඇෆ්ලටොක්සීන්ස් නම් පිළිකා කාරකය අඩංගු බවට හෙළි කළේ පාරම්පරික පොල්තෙල් නිෂ්පාදකවරුන්ගේ සංගමයයි.
ඒවා මේ වනවිටත් වෙළඳපොලට නිකුත් කර ඇති බවටයි එම සංගමය ප්‍රකාශ කළේ.
පොල්තෙල්වල පිලිකා කාරක රසායනික ද්‍රව්‍ය ඇත්දැයි පරීක්ෂා කිරීම සඳහා වෙළඳපොළෙන් ලබාගත් සාම්පල රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කරන බව ද, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ ලේකම් මහේන්ද්‍ර බාලසූරිය අද ප්‍රකාශ කළා.
මේ අතර, පාරිභෝගික සේවා අධිකාරිය ද අද සිට වෙළඳපොලෙන් පොල්තෙල් සාම්පල ලබාගෙන පරීක්ෂා කිරීම් ආරම්භ කළා.