විදෙස් ශ්‍රමිකයින් නොමිලේ නිරෝධායනය කරන්න හෝටල් හා නිකේතන 10ක්!

පවතින කොවිඩ් වසංගතය හමුවේ මැද පෙරදිග ඇතුළු විදේශයන් හි රැකියා වල නිරත වන්නන් මෙරට ගෙන්වාගැනීමට නිරෝධායන මධ්‍යස්ථාන පහසුකම් නොමිලේ ලබාදීම සඳහා පෞද්ගලික හෝටල් හා සංචාරක නිකේතන 10ක් තෝරාගෙන ඇති බව වාර්තා වේ.

කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතාගේ උපදෙස් යටතේ හා ජාතික කොවිඩ් මර්ධන කාර්ය සාධක බලකායේ අනුමැතිය සහිතව මෙම නිකේතන තෝරාගෙන ඇති බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!

වැලිගම ජගාබේ රිසෝර්ට්, පැරඩයිස් බීච් සහ නෙප්චූන් රිසෝර්ට්, හික්කඩුව හික්කා එෆ්.එන්.ආර් සහ කොරල් රීෆ් ගෙස්ට්, වාද්දුව බ්ලූ ස්ප්‍රින්ග්, දික්වැල්ල විලා ජයනන්ද, මීගමුව කැටමරාන්, අහංගම ජයන්ති සර්ෆ් සහ තංගල්ල සැන්ටන් රිසෝර්ටි යන හෝටල් සහ නිවාඩු නිකේතන මේ විගමනික ශ්‍රමික නිරෝධායන මධ්‍යස්ථාන සඳහා තෝරාගෙන ඇත.

මෙම හෝටල් දහය මගින් එක් වරකට 571 දෙනෙකුට නිරෝධායන පහසුකම් සැපයිය හැකි වේ.

මෙහිදී හෝටල් ගාස්තු, ආහාර පාන සහ සෙසු සියලු පහසුකම් සම්පාදනය කරනු ලබන්නේ විදේශ සේවා නියුක්ති කාර්යාංශය මගිනි.

මේ නිරෝධායන පහසුකම් සැපයීම සඳහා ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය සතියකට රුපියල් මිලියන 18ක් වැය කරන බව කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසයි. ඒ අනුව එක් පුද්ගලයෙකු මෙම නිරෝධායන මධ්‍යස්ථානය තුළ රැඳවීම සඳහා එක් දිනකට රුපියල් 4500 ක මුදලක් විදේශ සේවා නියුක්ති කාර්යාංශය වැය කරයි.එක් පුද්ගලයෙකු මෙම මධ්‍යස්ථානය තුළ සතියක පමණ කාලයක් රඳවා ගනු ලබයි.

මෙම ව්‍යාපෘතියේ සාර්ථකභාවය පිළිබඳ පසු විපරම් කිරීමෙන් අනතුරුව අනෙක් නිරෝධායන මධ්‍යස්ථාන ස්ථාපිත කිරීමට කටයුතු කරන ලෙස අමාත්‍යවරයා ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයට උපදෙස් දී ඇත.