කොරෝනා නිසා මානසිකව වැටෙන්නේ නැතිව අභියෝග ජය ගත යුතුයි – අගමැතිගෙන් පණිවුඩයක්

කෝවිඩ් නයින්ටීන් වසංගතය හමුවේ යහපත් මානසික සෞඛ්‍යයකින් හෙබි පිරිසක් ලෙස අප අභියෝග ජයගත යුතුව ඇති බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා පවසනවා.

ජාත්‍යන්තර මානසික සෞඛ්‍ය දිනය වෙනුවෙන් විශේෂ පණිවුඩයක් නිකුත් කරමිනුයි අග්‍රාමාත්‍යවරයා මේ බව සදහන් කළේ.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!

ලොව පුරා මානසික සෞඛ්‍ය ගැටලු පිළිබද දැනුවත් කිරීම හා පුද්ගලයන්ගේ මානසික සෞඛ්‍ය නගාසිටුවීමේ අරමුණින් සෑම වසරකම ඔක්තෝබර් මස 10 වනදා ජාත්‍යන්තර මානසික සෞඛ්‍ය දිනය සමරනු ලබනවා. රටවල් 150 කට වැඩි ගණනක සාමාජිකයන් සිටින මානසික සෞඛ්‍ය සදහා වූ ලෝක සම්මේලනයේ මූලිකත්වයෙන් 1992 වසරේදී පළමු වරට ජාත්‍යන්තර මානසික සෞඛ්‍ය දිනය සමරනු ලැබුවා.

සිය දරුවන් හා පවුලෙන් ඈත්ව රෝගීන් සුවපත් කිරීම වෙනුවෙන් දිවා රෑ වෙහෙසෙන සෞඛ්‍ය හා ආරක්‍ෂක අංශ මෙම අවස්ථාවේදී සිහිපත් කළ යුතු බවයි අග්‍රාමාත්‍යවරයා සිය පණිවුඩයෙන් දක්වා ඇත්තේ. ලොවක් වශයෙන් මුහුණ දී ඇති මෙවැනි තත්ත්වයක් හමුවේ සියලු දෙනා එක්ව දැඩි මානසික ඒකාග්‍රතාවකින් එම අභියෝග ජයගත යුතු වනවා. අන් කවරදාටත් වඩා පුද්ගල මානසික සෞඛ්‍ය පිළිබද සිතිය යුතු කාලය එළඹ ඇති බවයි අග්‍රාමාත්‍යවරයා පෙන්වා දෙන්නේ.

අතීතයේ සිට අභියෝග ජයගත් ජාතියක් ලෙස ශ්‍රී ලංකාව ශක්තිමත් ලෙස ලොව තුළ සිය නාමය රැදවීමට මෙවර ජාත්‍යන්තර මානසික සෞඛ්‍ය දිනයේදී කටයුතු කළ යුතු බව ද මහින්ද රාජපක්‍ෂ මහතා නිකුත් කළ නිවේදනයේ සදහන් වනවා.