අන්තවාදය වැපුරූ තවත් 4ක් අත්අඩංගුවට

සහරාන් හෂීම්ගේ අන්තවාදී ක්‍රියාකාරකම් වලට සම්බන්ධ වූ තවත් තවත් පුද්ගලයින් සිව් දෙනෙකු දිවයිනේ විවිධ ප්‍රදේශවලින් අත්අඩංගුවට ගැනීමට ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය ඊයේ සමත් වුණා.

මේ අතරින් පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත්තේ වැල්ලම්පිටිය සහ තිහාරිය ප්‍රදේශවලින්.

වැල්ලම්පිටිය ප්‍රදේශය අත්අඩංගුවට ගත් පුද්ගලයා තිස් එක් හැවිරිදි වියේ පසුවන අතර තිහාරියේ දී අත්අඩංගුවට ගත් පුද්ගලයා තිස් දෙහැවිරිදි වියේ පසු වන්නෙක්.

ඔවුන් අත්අඩංගුවට ගෙන ඇත්තේ සහරාන් හෂීම්ගේ අන්තවාදී දේශන අන්තර්ජාලය හරහා විකාශනය කිරීම සම්බන්ධයෙන්.

මේ පුද්ගලයින් විසින් වන් උන් මා නමින් වට්ස්ඇප් කණ්ඩායමක් නිර්මාණය කර ඒ හරහා මෙම අන්තවාදී අදහස් සහ වීඩියෝ දර්ශන අන්තර්ජාලයට  මුදා හැර තිබෙනවා.

මේ පුද්ගලයින් දෙදෙනා කටාර් රාජ්‍යයේ සිට මෙම අන්තවාදී දේශනා සහ වීඩියෝ දර්ශණ අන්තර්ජාලයට මුදාහැර ඇති අතර ශ්‍රී ලංකා පොලිසියේ ත්‍රස්ත විමර්ශන කොට්ඨාශය කටාර් රාජ්‍යයෙන් කළ ඉල්ලීමකට අනුව ඔවුන් පසුගිය නොවැම්බර් මස විසි දෙවැනිදා (22) එරටින් පිටුවහල් කර තිබෙනවා.

සහරාන් හෂීම් විසින් පාස්කු ප්‍රහාරයට පෙර සිදු කරන ලද යාඥාව සහ අවසන් ඡායාරූපය අන්තර්ජාලයට මුදා හැර ඇත්තේ මේ දෙදෙනාගෙන් එක් අයකු බවටයි මේ වන විට සිදු කරන ලද පරීක්ෂණ වලදී හෙළි වී ඇත්තේ .

මේ අනුව මොවුන්  ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ තවදුරටත් රඳවා තබාගෙන ප්‍රශ්න කිරීමට නියමිතයි.

එමෙන්ම ත්‍රස්ත ක්‍රියා විමර්ශන කොට්ඨාසය මගින් ඊයේ දිනයේ දී මුතූර් ප්‍රදේශයේ පදිංචි තිස් හත් හැවිරිදි (37) හා තිස්තුන් හැවිරිදි (33) තවත් පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගත්තා.

මොවුන් අත්අඩංගුවට ගෙන ඇත්තේ 2018 වසරේ අවසන් භාගයේ දී මුතූර් ප්‍රදේශයේ අන්තවාදී මූලධර්මවාදී පන්ති පැවැත්වීමට අවශ්‍ය පහසුකම් සැපයීම යන චෝදනා යටතේයි.

2018 වසරේ අවසන් භාගයේදී සහරාන් හෂීම්ගේ අනුගාමිකයන් විසින් උතුරු ප්‍රදේශයේ අපොස සාමාන්‍ය පෙළ විභාගය අවසන් කළ මුස්ලිම් දරුවන් සඳහා අන්තවාදී මූලධර්මවාදී පන්ති පැවැත්වූ බව වාර්තාවී තිබුණා.

අදාල පුද්ගලයින් දෙදෙනා මෙම පන්ති පැවැත්වීම සඳහා අවශ්‍ය පහසුකම් සලසා ඇති බවටයි වාර්තා වන්නේ.