මුහුදු මගින් කුඩු ඇද්ද ශ්‍රී ලාංකිකයන් 25ක් ඉන්දියාවේදී කොටුවෙයි

පසුගිය මාර්තු මාසයේ අවස්ථා දෙකකදී ඉන්දීය වෙරළාරක්ෂක බලකාය විසින් සිදුකරන ලද මෙහෙයුම් වලදී ශ්‍රී හෙරොයින් වර්ගයේ මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කළ ශ්‍රී ලාංකිකයන් 25 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහන මහතා පවසනවා.

මෙම වැටලීම් දෙකම සිදු කර ඇත්තේ ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයේ මිනිකොයි (minicoy) දූපත ආසන්නයේදීය

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!

මේ අතුරින් පළමු වැටලීම සිදුකර ඇත්තේ මාර්තු මස පස් වැනිදයී.

එදින හලාවත ප්‍රදේශයෙන් මුහුදු ගිය  ධීවර යාත්‍රාවක් පරීක්ෂා කල ඉන්දීය වෙරළාරක්ෂක බලකාය එහි සිටි පුද්ගලයින් 6 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

වැටලීම සිදුකරන අවස්ථාවේ යාත්‍රාවේ තිබූ කිලෝග්‍රෑම් දෙසීයකට අධික හෙරොයින් වර්ගය මත්ද්‍රව්‍ය මුහුදට දමා ඇති බවත් වාර්තා වුණා.

ඉන්දීය වෙරළාරක්ෂක බලකාය විසින් දෙවැනි වැටලීම සිදුකර ඇත්තේ මාර්තු මස 15 වැනිදායි.

එම වැටලීමත් කේරළයේ මිනිකොයි දූපත ආසන්නයේදී සිදු කෙරුනක්.

එදින ශ්‍රී ලංකාවේ දකුණු දිගින් මුහුදු ගිය ධීවර යාත්‍රා තුනක් ඉන්දීය වෙරළාරක්ෂක බලකායේ නිරීක්ෂණයට ලක්වී තිබෙනවා.

පසුව ඔවුන් එම යාත්‍රා 3 පරික්ෂා කිරීමේදී  ඒ අතර තිබූ රවිහංසි නම් ධීවර යාත්‍රාවේ  තිබී හෙරොයින් වර්ගයේ මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 300 කට ආසන්න ප්‍රමාණයක් සහ ස්වයංක්‍රීය ගිනි අවි 5ක් ඇතුළු ඊට යොදන උණ්ඩ දහසකට ආසන්න සංඛ්‍යාවක් අත්අඩංගුවට ගත්තා.

මෙම වැටලීමේදී ඉන්දීය වෙරළාරක්ෂක බලකායේ අත්අඩංගුවට පත් වූ ශ්‍රී ලාංකිකයින් සංඛ්‍යාව 19 ක්.

මෙම ධීවර යාත්‍රා තංගල්ල ප්‍රදේශයෙන් මුහුදු ගිය ධීවර යාත්‍රා බවටයි වාර්තා වන්නේ.

මේ අනුව අවස්ථා දෙකකදී ශ්‍රී ලාංකික බහුදින ධීවර යාත්‍රා හතරක් සහ ශ්‍රී ලාංකිකයන් විසිපස් දෙනෙකු ඉන්දීය වෙරළාරක්ෂක බලකායේ අත්අඩංගුවට පත්ව ඇත්තේ ජාත්‍යන්තර මුහුදු  සීමාවේදී  හෙරොයින් වර්ගය මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කිරීමේ චෝදනා යටතේයි.

මෙම මත්ද්‍රව්‍ය ප්‍රවාහන ජාලයේ සුලමුල සොයා ගැනීමට ඉන්දීය වෙරළාරක්ෂක බලකාය, ඉන්දීය මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය හා ශ්‍රී ලංකා මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය එක්ව කටයුතු කරන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

මීට අමතරව මෙරට රාජ්‍ය බුද්ධි සේවාව සහ ජාත්‍යන්තර පොලිසියේ සහායත් මේ සඳහා ලබා ගැනීමට නියමිතයි.

මේ වන විට මෙරටට ලැබෙන මත්ද්‍රව්‍ය තොග මුහුදු මාර්ග ඔස්සේ පැමිණෙන බව හඳුනාගෙන ඇති බවත් මෙම ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරමේ ප්‍රධානීන් කවුද යන්න පිළිබඳව සොයා ගැනීමට තවදුරටත් අඛණ්ඩ පරීක්ෂණ කටයුතු මෙහෙයවන බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහන මහතා වැඩිදුරටත් කියා සිටියා.