රජයේ මුදල් සාපරාධී සාවද්‍ය පරිහරණයට… රිෂාඩ් අත්අඩංගුවට ගන්න… නීතිපති වැඩ බලන පොලිස්පතිට නියෝග කරයි

පසුගිය ජනාධිපතිවරණයේදී ඡුන්දය ප‍්‍රකාශ කිරීම සඳහා ඡුන්දදායකයන් 12,000 කට ආසන්න පිරිසක් ප‍්‍රවාහනය කිරීම සඳහා යොදාගත් බස්රථ 222 ක් සඳහා රජයේ මුදලින් රුපියල් අනූපන් ලක්‍ෂයකට අධික මුදලක් වැය කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් හිටපු කර්මාන්ත හා වාණිජ කටයුතු පිළිබඳ අමාත්‍ය රිෂාඞ් බදුර්දීන් මහතා ඇතුළු සැකකරුවන් තිදෙනා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගන්නැයි නීතිපති දප්පුල ද ලිවේරා මහතා වැඩබලන පොලිස්පතිවරයාට උපදෙස් ලබාදී ඇත.

හිටපු අමාත්‍ය රිෂාඞ් බදුර්දීන් හා කර්මාන්ත හා වාණිජ කටයුතු පිළිබඳ අමාත්‍යාංශය යටතේ පිහිටුවා තිබූ දීර්ඝකාලීන අවතැන්වූවන් පුනරුත්ථාපනය කිරීමේ ව්‍යාපෘතියේ ව්‍යාපෘති අධ්‍යක්‍ෂ සම්සුදින් මොහොමඞ් යාසින් සහ එකී ව්‍යාපෘතියේ ගණකාධිකාරි අලගරත්නම් මනෝරංජන් යන සැකකරුවන් එලෙස අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට නීතිපතිවරයා උපදෙස් ලබාදී තිබේ.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!

එකී සැකකරුවන්ට එරෙහිව එල්ල වී ඇත්තේ අධිකරණ වරෙන්තුවක් නොමැතිව අත්අඩංගුවට ගත හැකි සංඥය වැරදි වන බවත් පොලිසිය සතු නීතිමය ප‍්‍රතිපාදන අනුව ඔවුන් සම්බන්ධයෙන් ඉදිරි පියවර ගන්නා ලෙසටත් කොටුව මහෙස්ත‍්‍රාත් අධිකරණය විසින් ඊයේ (13 දා) පස්වරුවේ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට කරන ලද නියෝගය අනුව නීතිපතිවරයා එකී උපදෙස් ලබාදී ඇතැයි නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරිනී නිශාරා ජයරත්න මෙනවිය ‘‘දිවයින’’ට ප‍්‍රකාශ කළාය.

උපුටාගැනීම – දිවයින