පාරාවෝ රජවරුන්ගේ සිරුරුවලට අලුත් නිවහනක්
ඊජිප්තුවේ පිරමීඩවල තිබී සොයා ගැනුනු පෞරාණික මළ සිරුරු හෙවත් පාරාවෝ රජවරුන්ගේ මමී 22ක් නව කෞතුකාගාරයක් වෙත රැගෙන ගොස් තිබෙනවා.
ඒ නයිට්රජන් යොදා විශේෂයෙන් සකස් කරනු ලැබූ බහාලුම් යොදා ගනිමින්.
පැරණි රජවරුන් රාජ්‍ය පාලනය කළ අනු පිළිවෙල අනුව එම සිරුරු විශේෂ රථ පෙරහරක් මගින් කයිරෝ අගනුවර හරහා රැගෙන ගිය බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
පාරාවෝ රජවරුන් 18 දෙනෙකු සහ රැජිණියන් 4 දෙනෙකුගේ මමී මෙලෙස නව කෞතුකාගාරයකට රැගෙන ගොස් තිබෙනවා.
කයිරෝ අගනුවර තහීර් චතුරස්රයේ පිහිටි ඊජිප්තු කෞතුකාගාරයේ තිබූ සිරුරු ෆුස්ටාට්හි පිහිටි ඊජිප්තු ශිෂ්ඨාචාරයේ ජාතික කෞතුකාගාරය වෙත රැගෙන ගොස් ඇත්තේ දැවැන්ත සැමරුම් පෙළපාලියකින්.
මෙම රථ පෙළපාලිය හේතුවෙන් මාර්ග රැසක් ද වසා දමා තිබුණා. එමෙන්ම මෙම උත්සවයට දැඩි ආරක්ෂක රැකවල් ද යොදා තිබුණා.
පාරාවෝ රජවරුන්ගේ මෙම සිරුරු සොයාගනු ලැබුවේ 1881 සහ 1898 අතර කාලසීමාවන්වලදීයි.
කොවිඩ් 19 හමුවේ කඩා වැටී ඇති සංචාරක කර්මාන්තය යළිත් ප්‍රකෘතිමත් තත්වයට ගෙන ඒම ඊජිප්තුවේ අරමුණක්.
ඒ හේතුවෙන් නව කෞතුකාගාරයක පාරාවෝ රජවරුන්ගේ සිරුරු තැන්පත් කිරීම ඔවුන් සිදුකළ බවයි විදෙස් මාධ්‍ය පෙන්වා දෙන්නේ.
නව කෞතුකාගාරය මහජන ප්‍රදර්ශණය වෙනුවෙන් සම්පූර්ණයෙන්ම විවෘත කිරීම ලබන 18 වනදා සිදුවනු ඇති. මෙම සිරුරු නව කෞතුකාගාරයක තැන්පත් කිරීම උත්සවාකාරයෙන් සිදුකෙරුණු කටයුත්තක් ලෙසට පෙන්නුම් කෙරුණ ද ඊජිප්තුවේ පිරමීඩවලින් හමුවූ සිරුරු ඓතිහාසික මෙන් මිත්‍යා විශ්වාස හා සම්බන්ධ වී ඇති දෙයක්.
විදෙස් මාධ්‍ය වාර්තා පෙන්වා දෙන්නේ මෙම මමී වෙනත් ස්ථානයකට ගෙන යාමේ කටයුතුවල ආරම්භයත් සමගම ඊජිප්තුවට ව්‍යසනකාරී තත්වයන් කිහිපයකටම මුහුණදීමට සිදුවූ බවයි.
විශාල පිරිසකට මරු කැඳවමින් ශොහාග් ප්‍රදේශයේ දුම්රියක් පීලි පැනීම ගොඩනැගිල්ලක් කඩා වැටී පුද්ගලයන් 18 දෙනෙකු මියයාම මෙන්ම සූවස් ඇලේ නෞකාවක් සිරවීම ද ඊට අයත්.
මෙය පාරාවෝවරුන්ගේ ශාපයක් විය හැකි බවටයි ඇතැම් පිරිස් සඳහන් කර ඇත්තේ.
මෙම සිරුරු ප්‍රදර්ශණය කිරීම දීර්ඝ කාලයක සිට විවාදයට ලක්ව තිබෙනවා.
ඇතැම් පිරිස් චෝදනා කරන්නේ මළවුන්ට ගෞරවයෙන් සැලකිය යුතු අතර එය ප්‍රදර්ශණ භාණ්ඩයක් නොවිය යුතු බවයි.