මිනුවන්ගොඩ කොරෝනා රැල්ල මතුගමත් කළඹයි – ජාතික රෝහලේ හෙදියක ඇතුළු 4 කට කොරෝනා

– කොළඹ පැතිරීම වළක්වන්න සෞඛ්‍ය කණ්ඩායම් 6ක්

මිනුවන්ගොඩ බ‍්‍රැන්ඩික්ස් පොකුරෙන් ආරම්භ වූ තෙවැනි කොරෝනා රැල්ල කොළඹ නගරය තුළ පැතිර යෑම වළක්වා ගැනීම සඳහා සෞඛ්‍ය කණ්ඩායම් හයක් යොදවා ඊයේ (14වැනිදා) සිට විශේෂ මෙහෙයුමක් ආරම්භ කළ බව කොළඹ මහ නගර සභාවේ ප‍්‍රධාන වෛද්‍ය නිලධාරී රුවන් විජයමුණි මහතා සදහන් කරයි.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!

බ‍්‍රැන්ඩික්ස් කොරෝනා රැල්ල ඊයේ වන විට කළුතර දිස්ති‍්‍රක්කයේ මතුගම ප‍්‍රාදේශීය ලේකම් බල ප‍්‍රදේශයට අයත් බදුගම, යටදොළ හා පැලවත්ත ප‍්‍රදේශ වෙතද ව්‍යාප්ත වී තිබිණි.

කොරෝනා වෛරසය ආසාදනය වූ කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයක සේවය කරන හෙදියක් සුළු රෝගී තත්ත්වයක් තිබියදී දින කිහිපයක් සුඛෝපභෝගී පෞද්ගලික බස් රථයකින් මතුගම, පැලවත්ත සිට කොළඹ සේවයට පැමිණීම මෙයට හේතු වී ඇත.

මෙම හෙදිය මේ වන විට ප‍්‍රතිකාර සඳහා නාගොඩ රෝහලට ඇතුළත් කර සිටින අතර ඇය ගමන් කළ බස් රථයේ හිමිකරු, රියැදුරු සහ කොන්දොස්තරවරයාටද වෛරසය ආසාදනය වී ඇති බව පෙරේදා (13 වැනිදා) රාති‍්‍රයේ අනාවරණය වී තිබිණි.

මේ අනුව දැනට මතුගම ප‍්‍රදේශයෙන් ආසාදිතයන් සිව් දෙනකු වාර්තා වී ඇති බව වලල්ලාවිට සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ ප‍්‍රකාශකයෙක් සදහන් කළේය. මෙම සිද්ධියත් සමඟ මතුගම බස් නැවතුම අසල කඩ සාප්පු රැුසක් වසා දැමීමටද වෙළෙඳුන් කටයුතු කර ඇත.