ඩයමන්ඩ් නැවේ කපිතාන්ට ලක්‍ෂ 120ක් දඩ – අධි චෝදනා දෙකටම වරද පිළිගනී

ශී‍්‍ර ලංකාවට ඔබ්බෙන් පිහිටි අනන්‍ය ආර්ථික කලාපයේදී පසුගිය සැප්තැම්බර් 3 දා ගිනි ගැනීමට ලක්වූ එම්. ටී. නිව් ඩයමන්ඩ් නෞකාවේ කපිතාන්වරයාට කොළඹ මහාධිකරණ විනිසුරු ධම්මික ගනේපොල මහතා ඊයේ (14 දා) රුපියල් ලක්‍ෂ 120 ක දඩයක් නියම කළේය.

මෝසමක් මගින් නඩුව කැඳවමින් අධිකරණයට ඉදිරිපත්වූ ස්ටෙරියෝස් එලියාස් කර්ඩානි නමැති එම නැවේ කපිතාන්වරයාට මහාධිකරණය හමුවේදී ඉංගී‍්‍රසි භාෂාවෙන් අධිචෝදනා කියවා දුන් අතර එකී අධිචෝදනා දෙකටම තමන් වරද පිළිගන්නා බව හෙතෙම විවෘත අධිකරණය හමුවේදී ප‍්‍රකාශ කළේය. ඒ අනුව විත්තිකරු නීතිපතිවරයා විසින් ගොනුකර තිබූ අධිචෝදනා දෙකටම වරදකරු බවට තීන්දු කළ මහාධිකරණ විනිසුරුවරයා පළමු අධිචෝදනාවට රුපියල් ලක්‍ෂ 100 ක දඩයකුත්, දෙවන අධිචෝදනාවට රුපියල් ලක්‍ෂ 20 ක දඩයකුත් නියම කළ අතර එකී දඩ මුදල් ගෙවීමෙන් අනතුරුව ඔහු මුදාහරින ලෙසටද නියෝග කළේය.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!

විත්තිකරු ස්වෙච්ඡුාවෙන්ම අධිකරණය හමුවට පැමිණ මුල් අවස්ථාවේදීම අධිකරණයේ කාලය අනවශ්‍ය ලෙස මිඩංගු කිරීමකින් තොරව වරද පිළිගැනීම කෙරෙහි අවධානය යොමු කරමින් තම අධිකරණය විසින් එම දඬුවම් නියම කළ බව විනිසුරුවරයා සිය තීන්දුව ප‍්‍රකාශයට පත් කරමින් පැවැසීය.

එකී නෞකාව ගිනි ගැනීමට ලක්වී ඇත්තේ අධික වේගයෙන් ගමන් කිරීමෙන් නෞකාවේ යන්ත‍්‍ර අධික ලෙස උණුසුම් වීම නිසා බව පෙනී යන්නේ යැයි පැවසූ නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා අධික උණුසුම් තත්ත්වය නිසා නෞකාවේ බොයිලේරුව පිහිටි ප‍්‍රදේශයේ හටගත් ගින්න මැඩපැවැත්වීමට විත්තිකරු අවශ්‍ය පියවර ගෙන නොමැති බවද අධිකරණය හමුවේ කියා සිටියේය.