කොළඹ නගර සභාව සති දෙකකට වැසේ… රෝසි ඇතුළු මන්ත‍්‍රීවරු අද පීසීආර් පරීක්‍ෂණයට

කොළඹට ළඟා වූ මිනුවන්ගොඩ බ‍්‍රැන්ඩික්ස් කොරෝනා රැල්ල ඊයේ (15 වැනිදා) කොළඹ නගර සභාවට ද ඇතුළුවීම නිසා නගර සභාව අද (16දා) සිට සති දෙකකට මහජනතාව සඳහා වසාදමා ඇති අතර නගරාධිපතිනි රෝසි සේනානායක මහත්මිය ඇතුළු සියලූම මන්තී‍්‍රවරුන් අද (16දා) පීසීආර් පරීක්‍ෂණයකට යොමු කිරීමට සෞඛ්‍ය බලධාරීන් තීරණය කර ඇත.

කොළඹ නගර සභාවේ පුණ්‍ය කොමසාරිස් කාර්යාලයේ සේවය කළ ජ්‍යෙෂ්ඨ කළමනාකාර සහකාරවරියකට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව ඊයේ (15දා) වාර්තා වීම ඊට හේතු වී ඇත. ආසාදිත සේවිකාව ඇසුරු කළ සමීපතමයන් 80 දෙනකුට ඊයේ පීසීආර් පරීක්‍ෂණ සිදු කර තිබුණු අතර තවත් ආශි‍්‍රතයන් 110 දෙනකුට අද පීසීආර් පරීක්‍ෂණ සිදුකිරීමට නියමිතය.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!

ආසාදිත සේවිකාව පෙරේදා (14 වැනිදා) නගරාධිපතිනියගේ ප‍්‍රධානත්වයෙන් පැවති කොළඹ මහ නගර සභාවේ මුදල් පිළිබඳ කාරක සභා රැස්වීමට සහභාගී වී තිබීම හේතුවෙන් මෙසේ නගරාධිපතිනිය හා මන්ත‍්‍රීවරුන්ට පීසීආර් පරීක්‍ෂණ කිරීමට සිදුව ඇත.

ඇතිවී තිබෙන තත්ත්වය හමුවේ කොළඹ මරදාන, ඞීන්ස් පාරේ පිහිටි කොළඹ නගර සභාවට අයත් මහජන ආධාර දෙපාර්තමේන්තු කාර්යාලයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය හා මාතෘ හා ළමා අංශය හැර සෙසු සියලූ අංශ සති දෙකක කාලයක් වසා දැමීමට ද පියවර ගත් බව කොළඹ නගර සභාවේ ප‍්‍රධාන වෛද්‍ය නිලධාරී වෛද්‍ය රුවන් විජේමුනි මහතා සඳහන් කළේය.

කොරෝනා ආසාදිත නගර සභා සේවිකාව කඩුවෙල ප‍්‍රදේශයේ පදිංචිකාරියක වන අතර ඇගේ සැමියා කොළඹ ජාතික රෝහලේ සේවය කරන බවද අනාවරණය වී තිබිණි.