ඉලක්ක වෙත නොපැමිණි ආයතන ගැන ජනපති වාර්තා ඉල්ලයි

“මහජන සේවා සැපයෙන රාජ්‍ය ආයතනවලින් ජනතාව අපේක්ෂා කරන කාර්යය ඉටු කර ගැනීමට නොහැකිය” යන චෝදනාවට තිත තැබිය යුතු යැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අවධාරණය කරයි.

කොවිඩ් වසංගතය හමුවේ වුවද “සෞභාග්‍යයේ දැක්ම” ප්‍රතිපත්ති ප්‍රකාශයෙන් පොරොන්දු වූ බොහෝ දේ ඉටු කර ඇත. ජනතාව තුළ ඇති කණස්සල්ලට හේතුව ඇතැම් රාජ්‍ය ආයතනවල පවතින අකාර්යක්ෂමතාව, දූෂණය, කල්ගතවීම බව ජනතාව පෙන්වා දෙති. කාර්යක්ෂම රාජ්‍ය සේවාවක් වෙනුවෙන් රාජ්‍ය අමාත්‍යවරුන්ගේ සෘජු මැදිහත්වීමෙන් සහ තාක්ෂණය භාවිතයෙන් ගැටලුවට විසඳුම් දිය හැකි බව ජනාධිපතිවරයා පෙන්වා දෙයි.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!

රාජ්‍ය අමාත්‍යවරුන් සමග මාසිකව පැවැත්වෙන සමාලෝචන රැස්වීම අද (21) පෙරවරුවේ කොටුව ජනාධිපති මන්දිරයේ පැවත්වුණු අතර එහිදී ජනාධිපතිවරයා මේ අදහස් පළ කළේය.

ඇතැම් ආයතන ප්‍රධානීන්ගේ කාර්ය භාරය නිසි ලෙස ඉටු නොවීම පිළිබඳව ද වාර්තා වී ඇත. රජයේ අපේක්ෂිත ඉලක්ක වෙත ළගා වී නැති එවැනි ආයතන පිළිබඳ වාර්තාවක් දෙන ලෙස රාජ්‍ය අමාත්‍යවරුන්ට පැවසූ ජනාධිපතිවරයා එම ආයතන සඳහා වෙනත් නිලධාරීන් පත් කළ යුතු නම් ඒ සඳහා ද තමා සුදානම් බව කියා සිටියේය.

විදේශ ණය සහ දේශීය අය වැය ප්‍රතිපාදන මගින් ක්‍රියාත්මක ව්‍යාපෘතින්හි ප්‍රගතිය අධීක්ෂණය කර කඩිනම් කරවීමේ අවශ්‍යතාව ද ජනාධිපති අවධාරණය කළේය.

“ජනතාව සමගයි අපේ ශක්තිය තිබෙන්නේ, ඔවුනගේ අවශ්‍යතා කඩිනමින් ඉටු විය යුතුයි.  ගැටලුවලට ඇහුම්කන් දෙමින්, ජනතාවගෙන් දුරස් නොවී වැඩ කරන්න” යැයි ජනාධිපති රාජ්‍ය අමාත්‍යවරුන්ට කියා සිටියේය.

රජයේ ප්‍රතිපත්තිය රැකියා නිෂ්පාදනයයි. එබැවින් කුඩා සහ මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් ගම තුළ ගොඩනගා රැකියා අවස්ථා උදා කිරීමේ හැකියාව ද ජනාධිපති විසින් පෙන්වා දෙනු ලැබිණ.