කොවිඩ් රෝගයට එරෙහිව ෆයිසර් බෙහෙත් පෙත්තක්
කොවිඩ්-19 වෛරසයට එරෙහිව මෙතෙක් සාර්ථකම එන්නත නිපදවීමටද සහාය දැක්වූ ෆයිසර් සමාගම, මේ වනවිට වෛරසයට එරෙහිව තනි බෙහෙත් පෙති ප්‍රතිකාරයක් පිළිබඳ පරීක්ෂණයන් සිදුකරන අතර, එය සාර්ථක වුවහොත් මේ වසරේදී එය ලබාගත හැකිවනු ඇත.
PF-07321332 නමින් හැඳින්වෙන මෙම ඖෂධය දැනට සෞඛ්‍ය සම්පන්න වැඩිහිටියන් යොදා ගනිමින් එහි පළමු වැනි අදියර සායනික පරීක්ෂණයක යෙදී සිටියි.
මෙම ඖෂධය පිළිබඳව අප්‍රේල් මස මුලදී ඇමෙරිකානු රසායනික සංගමයේ 2021 වසන්ත සමුළුවේදී අනාවරණය වූ අතර, කොවිඩ්-19 සඳහා හේතුවන SARS-CoV-2 වෛරසයේ ප්‍රධාන ප්‍රෝටීනය (ප්‍රෝටියේස්) ඉලක්ක කර ගනිමින් ඖෂධය ක්‍රියා කරයි. එම ප්‍රෝටියේස් නිෂේධනය කිරීමෙන් ඖෂධය විසින් වෛරසය ශරීරය තුළම ප්‍රජනනය වීම වළක්වන බව කියයි.
ෆයිසර් හි ප්‍රධාන විද්‍යා නිලධාරි මයිකල් ඩොල්ස්ටන් මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ හදිසි ප්‍රතිකාර හෝ රෝහල් ගත කිරීමකින් තොරව ආසාදනයේ පළමු සංඥාවේදීම මෙම ඖෂධය නියම කළ හැකි බවයි.
“යම් කාලයක් කොවිඩ්-19 වෛරසය අඛණ්ඩව පැතිර යාමක් සිදුවනු ඇතැයි අප බලාපොරොත්තු වෙනවා. එබැවින්, සියලු වෛරස් වසංගතයන් මෙන්ම, එය ආමන්ත්‍රණය කරන්නේ කෙසේද යන්න පිළිබඳ සම්පූර්ණ මෙවලම් පෙට්ටියක් අප සතුව තිබීම වැදගත්” යැයි ෆයිසර් හි ඖෂධ සැලසුම් අංශ ප්‍රධානී චාලට් ඇලර්ටන් පැවසීය.
මේ අතර, ෆයිසර් සහ මොඩෙර්නා එන්නත් වැඩිහිටියන් අතර කොවිඩ්-19 රෝහල්ගත වීමේ අවදානම 94% කින් අඩු කරන බව නවතම අධ්‍යයනයක් පෙන්වා දෙයි. එක්සත් ජනපදයේ වයස අවුරුදු 65 සහ ඊට වැඩි වැඩිහිටියන් අතර සම්පූර්ණ එන්නත ලබාගත් වැඩිහිටියන් අතර කොවිඩ්-19 රෝහල්ගත කිරීමට එරෙහිව ෆයිසර්-බයෝඑන්ටෙක් සහ මොඩෙර්නා කොවිඩ් -19 මර්දන එන්නත් සැබෑ ලෝකයේ 94%ක් ඵලදායී බව සොයාගෙන ඇත.
එමෙන්ම මෙම එන්නත්වලින් එක් මාත්‍රාවක් පමණක් ලබාගත් වැඩිහිටියන් අතර 64%ක ඵලදායී බවක් අධ්‍යයනයෙන් සොයාගෙන ඇත. ඒ අනුව මෙම සොයාගැනීම් වෛරසයට එරෙහිව ෆයිසර්-බයෝඑන්ටෙක් සහ මොඩෙර්නා කොවිඩ් -19 මර්දන එන්නත්වල සායනික අත්හදා බැලීමේ ප්‍රතිඵලවලට අනුකූල වන අතර, එහිදීද 94% සිට 95% දක්වා කාර්යක්ෂමතාවයක් පෙන්නුම් කර තිබුණි.
“මෙම දත්තවලින් පෙනී යන්නේ කොවිඩ්-19 ට එරෙහිව එක්සත් ජනපද වැඩිහිටියන්ට වේගයෙන් එන්නත් ලබාදීම කොවිඩ්-19 රෝහල්ගත කිරීම කෙරෙහි සැලකිය යුතු බලපෑමක් ඇති කළ හැකි බවයි. පශ්චාත් කොවිඩ්-19 අවදානම් තත්ත්වයන් සහ මරණ අවම කිරීමටද එය හේතු විය හැකි බවයි” පර්යේෂකයන් සිය අධ්‍යයනයේ ලියා තිබේ.