ඉන්දියාවේ කොවිඩ් අර්බුදය ලෝක අර්බුදයක් වූයේ ඇයි?
කොවිඩ්-19 වසංගතයට එරෙහිව ලෝකය තුළ විවිධ රටවල සිදුවන සටන එක් එක් කාලසීමාවේදී යම් බෙදීමක් පෙන්වන්නේ, වසංගතයෙන් දැඩිව බැටකෑ එක්සත් ජනපදය සහ බ්‍රිතාන්‍ය දැන් වසංගතය යම් පාලනයකට නතුකර සතුට සමරද්දී, මීට පෙර වසංගතය යම් පාලනයකට නතුකර සතුට සැමරූ ඉන්දියාව අද තම ආදරණීයන්ට ඔක්සිජන් පවා නොමැතිව විලාප නඟන බැවිනි.
ඉන්දියාවේ සෑම දිනකම නව ආසාදිතයන් සංඛ්‍යාව වාර්තාගත මට්ටම් කරා ඉහළ යන අතර, ගෝලීය ප්‍රතිවිපාකයන්ද සමග ජාතික අර්බුදයක් නිර්මාණය කරමින්, කොරෝනා රෝගීන් ඇඳන් සහ ඔක්සිජන් නොමැතිව රෝහල්වලින් යළි හරවා එවන තත්ත්වයක් එරට තුළ දැකිය හැකිය.
මේ වනවිට ඉන්දියාවේ වෛරසය පැතිරෙන වේගය හා පරාසයේ තරමට, වර්තමාන එන්නත්වලට ප්‍රතිරෝධය දැක්විය හැකි ප්රභේදයන් විකෘති කොට නිර්මාණය වීමට ඇති ඉඩකඩ වැඩි වන අතර, වසංගතය දැනට පාලනය කර ඇති ලොව සෙසු රටවල් ලබා ඇති ප්‍රගතියට ඉන් දැඩි අවදානමක් ඇතිවීම ඉන්දියාව විසින් ලෝකය හමුවේ තබා ඇති මෙම ප්‍රබල අවදානමයි.
“අපි ඉන්දියාවට මේ මොහොතේ උදව් නොකළොත්, ලොව පුරා ආසාදිතයන් ඉහළ යාම ගැන විවාදයක් නැහැ. එය අප කනස්සල්ලට පත්කරන තත්ත්වයක්” යැයි බ්‍රවුන් විශ්ව විද්‍යාලයේ මහජන සෞඛ්‍ය විද්‍යායතනයේ පීඨාධිපති වෛද්‍ය අෂිෂ් ජා පැවසීය.
ඉන්දියාවේ කොවිඩ්-19 වෛරසය පැතිරයාම ලෝකයේ සියලු රාජ්‍යයන් අතර සම්බන්ධීකරණ ප්‍රතිචාරයක් අවශ්‍ය ගෝලීය ගැටලුවක් වන්නේ එබැවිනි.
මේ තත්ත්වය තුළ ඇතැම් රාජ්‍යයන් මේ වනවිටත් ඉන්දියාවට වෛද්‍ය සැපයුම් යවමින් සිටින අතර, තවත් රාජ්‍යයන් ඒ සඳහා වැඩි උනන්දුවක් දක්වන්නේ මේ අවදානම නිසාය. එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉතාලිය සහ ජර්මනිය වෛද්‍ය ආධාර කඩිනමින් සපයමින් සිටින අතර, චීනයද පවසන්නේ තමන්ද ඉන්දියාවට සහාය දක්වමින් සිටින බවය.
ඉන්දියාවේ ක්ෂණික ප්‍රමුඛතාව දැනටමත් රෝගාතුර වූවන්ගේ ජීවිත බේරා ගැනීමය. එමෙන්ම වෛරසය පැතිරීම වැළැක්වීම සඳහා රටේ එන්නත්කරණය ශීඝ්‍රයෙන් කඩිනම් කිරීම ඉතාම වැදගත් බව වසංගත රෝග පිළිබඳ විශේෂඥ මතය වී තිබේ.
එහෙත්, ලොව විශාලතම එන්නත් නිෂ්පාදකයාගේ නිවහන වුවද ඉන්දියාවට එරට ජනගහනයට ප්‍රමාණවත් එන්නත් මාත්‍රාවක් නොමැති අතර වැඩි වැඩියෙන් සපයා ගැනීමට වේගවත් හා සරල ක්රමයක්ද නොමැති තත්ත්වයක් උදාවී ඇත. කෙසේ වෙතත් මේ වනවිට රටවල් කිහිපයක්ම තම අමතර එන්නත් ඉන්දියාව වෙත ලබාදීමට ඉදිරිපත්ව ඇත්තේද ඉන්දියාව සුවකර ගැනීම ලෝකයම සුවකර ගැනීමට හේතුවක් වී ඇති බැවිනි.